අමෙරිකාවෙන් මැදපෙරදිගට තවත් අමතර සෙබළු 3000 ක්


ඉරාන - අමෙරිකා පාර්ශව අතර උද්ගත වී ඇති තත්ත්වය හමුවේ තවත් අමතර සෙබළුන් 3000ක් මැදපෙරදිගට යැවීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

82 වැනි ගුවන් මෙහෙයුම් අංශයට අනුයුක්ත හදිසි ප්‍රතිචාර බලකායේ සෙබළු ඊට යොදවනු ලැබ සිටිති.

ඉරාකයේ බැග්ඩෑඩ් නුවර අමෙරිකානු තානාපති කාර්යාලය කේන්ද්‍ර කර ගනිමින් ඇතිවූ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණ සඳහා මීට පෙර 750 ක සෙබළුන් පිරිසක් අනුයුක්ත කෙරිණි.

ඉරානයෙන් එල්ලවන තර්ජන හමුවේ අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය පසුගිය වසරේ මැයි මාසයේ සිට අවස්ථා ගණනාවකදී අමෙරිකානු ආරක්ෂක අංශ සාමාජිකයින් මැදපෙරදිග යැවීමට කටයුතු කර ඇත.

එම සංඛ්‍යාව ආසන්න වශයෙන් 14000 ක් පමණ වෙයි.  

අමෙරිකාව සහ ඉරානය අතර උද්ගතවී ඇති උණුසුම් තත්ත්වය අමතර භට පිරිස් යැවීම හමුවේ තවදුරටත් තීව්‍ර විය හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.



-226

(එන්.එච්.කේ. ඇසුරෙනි)