ඉරාන විප්ලවීය හමුදාවේ, කුද්ස් බළඇණියේ නායක, මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් මහතා, තම හමුදා එල්ල කළ මිසයිල ප‍්‍රහාරයෙන් මියගිය බව අමෙරිකාව පවසයි.
අමෙරිකානු යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතාගේ උපදෙස් පරිදි ජනරාල්වරයා ඉලක්ක කර ගනිමින් පහරදීමක් කළ බවය.
ඉරාකයේ ඉරාන හිතවාදී ෂියා මුස්ලිම් සටන්කාමී සංවිධානයේ නායක අබු මහ්දී අල් මුහන්දිස් මහතා ඇතුළු තවත් හමුදා නිලධාරීන් කිහිපදෙනකු ප‍්‍රහාරයෙන් මියගිය බව වාර්තා වේ.
ඉරාන හමුදාව හැඳින්වෙන්නේ ‘ඉරාන විප්ලවීය හමුදාව’ යනුවෙනි. ‘කුද්ස්’ යනු ඉරාන හමුදාවේ විශේෂ හමුදා බළඇණියකි. ඉරානයෙන් පිට විදේශගතව හමුදා මෙහෙයුම්වලට සම්බන්ධ වන්නේ මෙම ‘කුද්ස්’ බළඇණියයි.
මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් නායකත්වය ලබා දුන්න ද, ‘කුද්ස්’ බළඇණිය කි‍්‍රයාත්මක වන්නේ ඉරාන උත්තරීතර නායක අල් කොමේනීගේ අණ පරිදිය. 2007 වසර වෙද්දී, ‘කුද්ස්’ බළඇණිය සෙබළුන් 15,000 කින් සමන්විත විය.
‘කුද්ස්’ බළඇණිය නිර්මාණය වී ඇත්තේ 1980 සිට 88 තෙක් පැවැති ඉරාක ඉරාන යුද සමයේදීය. ඉරාක ඉරාන යුද සමයේදී ‘කුද්ස්’ බළඇණියේ සහාය හිමිවූයේ ඉරාකයේ සදාම් හුසේන්ට එරෙහිව සටන් වැදුණු කුර්දි සටන්කාමීන්ටය.
ජනරාල් කසීම් සුලෙයිමාන් ඝාතනය සම්බන්ධයෙන් ඉරාන විදේශ ඇමැති ජවාද් සරීෆ් මහතා පවසා ඇත්තේ අමෙරිකාව ලොකු මෝඩකමක් කර ඇති බවය.
(අල්ජසීරා ඇසුරිනි)
050


