
(අංජුල මහික වීරරත්න)
අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ අතරමඟ නවතා දමා තිබූ සංවර්ධන ව්‍යාපෘති දෙකක් රුපියල් මිලියන 1304 ක මූල්‍ය ප්‍රතිපාදන මත නැවත ඇරැඹූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
නියමිත කාලසීමාව තුළ ඉහත ව්‍යාපෘති අවසන් නොකිරීම නිසා ඒවා අවසන් කිරීමට මුල් ව්‍යාපෘති ඇස්තමේන්තු ගත මුදල මෙන් දෙගුණයක මූල්‍ය පිරිවැයක් රජයට දැරීමට සිදු වන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.
අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ යටිතල පහසුකම් සහ භෞතික සංවර්ධනය ඇරැඹීමේ වැඩසටහනකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව පසුගිය කාලයේ අම්පාර දිස්ත්‍රික් මහ රෝහලේ වැඩ ආරම්භ කර ඉදිකිරිම් නතර කර තිබූ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ මඟපෙන්වීම සහ මූලිකත්වය යටතේ මුදල් ප්‍රතිපාදන වෙන් කරමින් නැවත ආරම්භ කිරීමට පියවර ගත්තේය.
ඒ අනුව රුපියල් මිලියන 950 ක මුල්‍ය පිරිවැයක් යටතේ නව හදිසි අනතුරු හා ප්‍රතිකාර ඒකකයේත් (A&E), රුපියල් මිලියන 354 ක ව්‍යාපෘති පිරිවැයක් යටතේ කැතීටකරණ රසායනාගාර ඒකක සංකීර්ණයේත් ආරම්භ කළ ඉදිකිරිම් කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් විය.එම ව්‍යාපෘති 2026 වසරේ අවසන් කිරිමට නියමිතය.

