(විනීතා එම් ගමගේ)
අබලි ද්‍රව්‍ය රැගත් ටිපර් රථ මුතුරාජවෙල තෙත් බිමට ඇතුළු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන්නැයි මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට අද (28) පෙරවරුවේ නියෝග කළේය.
මධ්‍යම පරිසර අධිකාරියේ ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැති අවස්ථාවේ අමාත්‍යවරයා මෙම නියෝගය කර ඇත.
එම තෙත් බිමෙහි සිදුවන නීති විරෝධී ගොඩ කිරීම් සිදුකරනු ලබන්නේ බැහැරින් ගෙන එන කොන්ක්‍රීට් කැබලි පරණ ටයර් නිවාස කඩා ඉවත් කරනු ලබන ද්‍රව්‍ය කුළියට බැහැර කරන ටිපර් රථ මගින් බව හෙළි වීම නිසා මෙම පියවර ගත් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවැසීය.
එසේ තහනම් කිරීමෙන් පසු ටිපර් රථ ඇතුල් කළහොත් අත් අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරන්නැයි ද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරින්ට උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
පසුගිය 18 වැනිදා මුතුරාජවෙල තෙත් බිමෙහි කළ පරික්ෂණ චාරිකාවේ දී මෙවැනි අබලි රැගත් ටිපර් රථ දුටු අවස්ථාවේ ඒවා පිළිබඳ පරික්ෂා කර අත් අඩංගුවට ගන්නැයි බෝපිටිය පොලිසියේ ඉහළ නිලධාරියෙකුට දැනුම් දුන් නමුත් ඔහු මෙතෙක් පියවර නොගත් බව ද අමාත්‍යවරයා පැවැසීය.
පරිසරයට හානි සිදුවන අන්දමේ ව්‍යාපෘති තුනක් තමන් එහි කළ චාරිකාවේ දී හඳුනාගත් බවත් එම ව්‍යාපෘති තුන තහනම් කිරීමට කටයුතු කරන බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
එම නිරික්ෂණ චාරිකාවේ දී මුතුරාජවෙල ගොඩ කිරිම් පිටුපස රාජ්‍ය නිලධාරින් ද ඇති බව හෙලි වී යැයි ද දැන්වත් තමන්ගේ රාජකාරිය හරියට ඉටු නොකරන නිලධාරින් පිළිබඳව දැඩි පියවර ගැනීමට තමන් පසුබට නොවන බව ද අමරවීර මහතා සඳහන් කළේය.

