(වසන්ත චන්ද්‍රපාල)
නැගෙනහිර පළාත් සභාවේ මාර්ගස්ථ මගි ප්‍රවාහන සේවයේ සභාපතිවරයාගේ නිල රථය පොදු පෙරමුණේ අම්පාර දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයකුගේ රැස්විමක තිබියදී අම්පාර මැතිවරණ නිළධාරින් සහ අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිය.
අම්පාර ගැමුණුපුර ප්‍රදේශයේ නිවසක දේශපාලන රැස්විමක් පවතින අතර එම ස්ථානයේ නැගෙනහිර පළාත් සභාවේ මාර්ගස්ථ මගි ප්‍රවාහන සේවයේ සභාපතිවරයාගේ නිලරථය ඇති බව මැතිවරණ නිළධාරින්ට ලැබුන තොරතුරක් අනුව මෙම අත් අඩංගුවට ගැනිම සිදුකරනු ලැබිය.
මෙසේ අත් අඩංගුවට ගනු ලැබුවේ EP PJ 2663 රථය බව මැතිවරණ නිළධාරින් පැවසිය.මෙම රථයට ස්තිර රියදුරෙක් නැති අතර මෙම කැබ් රථය පලාත් සභාවෙන් අත්සන් කර භාරගෙන ඇත්තේ මාර්ගස්ථ මගි ප්‍රවාහන සේවයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන චාමර නිළංග මහතා බව මාර්ගස්ථ මගි සේවයේ නිළධාරින් පවසයි.
මෙම රථය පොලිසියට ගෙන එමෙන් පසුව මෙම කැබ් රථය ජනාධිපතිතුමාගේ සංචාරයේ කටයුතු සදහා යොදවා ඇති බවත් එම රැස්විම පවත්වන ස්ථානයට ගියේ වැඩ කරන පිරිසක් හමුවිමට බව අම්පාර පොලිස් ස්ථානයට පැමිණ පොලිස් නිළධාරින්ට සභාපති චාමර නිලංග පවසන අයුරු මාධ්‍යවේදින්ට ද දැක ගැනිමට හැකිවිය.
මෙම සභාපතිවරයා දැනට අම්පාර නගර සභාවේ පොදුජන එක්සත් පෙරමුනේ නාගරික මන්ත්‍රිවරයෙක් වන අතර නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සම්බන්ධිකරණ ලේකම්වරයා ලෙසද කටයුතු කරයි.
මේ පිලිබදව විමසිමේදි අම්පාර සහකාර මැතිවරණ කොමසාරිස් තිළිණ වික්‍රමරත්න මහතා පැවසුවේ මැතිවරණ කාර්යාලයට ලැබුණූ පැමිනිල්ලක් අනුව තම නිළධාරින් එම ස්ථානයට ගොස් කැබ් රථයක් අත් අඩංගුවට ගෙන ඇති අතර නීතිමට කටයුතු සදහා පොලිසියට මෙම වාහනය ලබාදුන් බවද පැවසිය.


