අනවසරින් රටින් පිටවෙන්න ගිය තවත් 53ක් අත්අඩංගුවට


(යොහාන් භාසුර)

නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන ජාවාරම්කරුවන් දෙදෙනෙක් සමඟ පුද්ගලයන් 53 ක් ත්‍රිකුණාමලය සහ මන්නාර ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

ත්‍රිකුණාමලය එරක්කන්ඩි සහ මන්නාරම තාල්පාඩු  වෙරළ ප්‍රදේශවලදී මෙම පිරිස ඊයේ (5) රාත්‍රී අත්අඩංගුවට ගත් බවත් නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබා ආයතනය සහ කුච්චවේලි පොලිසිය එක්ව කළ එම මෙහෙයුමේදී අත්අඩංගුවට පත් වයස අවුරුදු 1 ත් 52 ත් අතර වයසේ පසුවන එම සැකකරුවන් කින්නියා, මූතූර් සහ කුඹුරුපිඩ්ඩි යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවත් නාවික හමුදාව කීය.

එහිදී පිරිමි පුද්ගලයන් 12 ක්, කාත්තාවන් 11 ක් හා ළමුන් 23 දෙනෙකු ඇතුළු සැකරුවන් 46 ක්  අත්අඩංගුවට ගත් බව කී නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික නෞකා ගජබා ආයතනය මන්නාරම, තාල්පාඩු වෙරළ ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ඩිංගි යාත්‍රාවක් යොදා ගනිමින් වෙනත් රටකට නීති විරෝධී ලෙස සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන තවත් පිරිමි පුද්ගලයන් 03 ක්  කාන්තාවක් සහ ළමුන් 03 ක් ඇතුළු 07 දෙනෙකු සමඟ එම ජාවාරමට සම්බන්ධ ජාවාරම්කරුවන් දෙකක් තාල්පාඩු වෙරළ තීරයේදී ඩිංගි යාත්‍රාවක් ද සමඟ බාරයට ගත් බව ද නාවික හමුදාව සඳහන් කළේය.

වයස අවුරුදු 05 ත් 48ත් අතර වයසේ පසුවන නාවික හමුදාව භාරයට ගත් එම සැකකරුවන් පිරිස කොළඹ, බදුල්ල, වව්නියා සහ මාන්නරම යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනාගත් බවත් එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලිසියට බාරදුන් බවත් නාවික හමුදාව වැඩි දුරටත් සදඟන් කළේය.