අනධ්‍යයන සේවක වර්ජනයෙන් සරසවි කටයුතු අඩාලයි


(රංජන් කස්තුරි)

විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් රට පුරා සියලු විශවවිද්‍යාල අද(10) අඩපණ විය.

විශ්වවිද්‍යාලවල විධායක නිලධාරීන්, පරිපාලන නිලධාරීන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද සේවයට නොපැමිණි අතර ඒ හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අද සිදු නොවුණි.
 
බොහෝ විශ්වවිද්‍යාලවල සිසුන්ගේ පැමිණීමද අද ඉතා අඩු මට්ටමක පැවැතිණි.
 
අනෙකුත් රාජ්‍ය සේවකයන්ට 2015 වසරින් පසුව 107%කින් වැටුප් වැඩි වූ නමුත් විශ්වවිද්‍යාලවල අනධ්‍යයන කාර්යමණ්ඩලවලට වැටුප් වැඩි වී ඇත්තේ 92%කින් පමණක් බවත් ඔවුන්ට අනෙකුත් රාජ්‍ය සේවකයන්ට වැඩි වූ ප්‍රතිශතයෙන්ම වැටුප් වැඩිකරන්නැයිද ඉල්ලමින් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.
 
මේ පිළිබඳව ලංකාදීපය කළ විමසුමකදී විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් මහතා සඳහන් කළේ වැඩවර්ජනය හේතුවෙන් රට පුරා සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු අද දිනයේ සිදු නොවූ බවයි.