අධිවේගී මඟේ අනතුරකින් ලොරි රියදුරකු මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

         

මාළු පටවාගෙන අධිවේගී මාර්ගය ඔස්සේ  පැමිණෙමින් තිබූ ලොරියක් කිලෝ මීටර් 9.5 බණ්ඩාරගම බද්දේ ගොඩ ප්‍රදේශයේ දී   නවතා තිබූ  ටිපර් රථයක  ගැටීමෙන්  ලොරි රියදුරු මියගිය බව දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.         

අනතුරින් මියගොස් ඇත්තේ  දෙවිනුවර විසුම්පාය නිවසේ පදිංචිව සිටි නිහාල්  රත්නායක 55 හැවිරිදි පුද්ගලයෙකි.            

මාළු රැගෙන ගාල්ල දෙස සිට ලොරි රථය   අධිවේගී මාර්ගය ඔස්සේ  කොළඹ දෙසට පැමිණෙමින් තිබියදී බණ්ඩාරගම බද්දේ ගොඩ පාලම ආසන්නයේ මාර්ගයේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්  නඩත්තු කටයුතු සිදු කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.                  

කාපට් ඇතිරීම සඳහා යොදා ගන්නා වාහන මෙන්ම කාපට් රැගෙන  ආ ටිපර් රථය ද දකුණු මං තීරුවේ නවතා ඒ සඳහා අවශ්‍ය සියලුම ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් කොළඹ දිසාවට ගමන් ගන්නා වාහන වලට වමේ මං  තීරුව වෙන්කර  ඔවුන් නඩත්තු කටයුතු කරමින් සිට ඇතැයි පොලිසිය කියයි.

කොළඹ දෙසට ධාවනය වූ  මාලු ලොරිය නවතා තිබු ටිපර් රථයේ පිටුපස ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.