(යොහාන් භාසුර)
සෝයාමීට් තොග සපයන්නේ යැයි කෝටි දෙකකට අධික මුදලක් වංචා කර අධිකරණ වරෙන්තු 46 ක් මගහැර සිටි කාන්තාවක් කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අද (12 ) අත්අඩංගුවට ගැනීමට සමත් විය.
නුගේගොඩ, නාවල ප්‍රදේශයේ වෙළෙඳ නියෝජිතායතනයක් පවත්වාගෙන ගිය 38 හැවිරිදි අවිවාහක කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගත් බවත් මෙම කාන්තාව 2020 වසරේදී පිටරට සිට ආනයනය කර සෝයාමීට් තොග සැපයීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් වෙළද නියෝජිතායතනවලින් රුපියල් ලක්‍ෂයේ සිට ලක්ෂ පහ දක්වා මුදල් ලබාගෙන වංචා කර ඇති බවත් පොලිසිය කීය.
එම වංචාවට හසුවූ ව්‍යාපාරිකයින් රැසක් මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇති බව කී පොලිසිය ඉන් පැමිණිලි නඩු 46 ක් අදාලව මෙම කාන්තාවට එරෙහිව විභාග වන අතර ඇය ඒ සියලු නඩුවල නඩු වාරයකට පමණක් පෙනී සිට අධීකරණය හමුවේ පෙනී සිටිම පැහැර හැර සැගව සිටි බව ද සඳහන් කළේය.
අදාල කාන්තාව කඩවත, ගනේමුල්ල පාරේ නිවසක සැඟව සිටින්නේ යැයි ලැබුණු ඔත්තුවකට අනුව නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ. පී. එස්. ජයමහ මහතාගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එන්. විජේරත්න මහතා ඇතුළු කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය. එම කාන්තාව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (13) ඉදිරිපත් කිරීමට නියමිතය.

