(සුජිත් හේවාජුලිගේ )
සමහර පොලිසි මත්ද්‍රව්‍ය සාම්පල එක දිගට විස්ස තිහ වැරදියට එවන තත්වයක් දක්නට ඇති බවත් කුඩු නොවන දේවල් ඉදිරිපත් කර පළි ගැනීමට සමහර පොලිස් නිලධාරීන් බොරු නඩු දානවා යැයි ජනතාව නගන චෝදනාවේ යම් සත්‍යයක් තිබෙන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
මේ කාරණය සම්බන්ධයෙන් ඉදිරි සතියේදී දැඩි නිරීක්ෂණයට ලක් කරන බවද හෙතෙම සඳහන් කළේය.
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමට අදාළ නීතිය සංශෝධනය කිරීමට අවධානය යොමුවී ඇතැයි පැවසූ අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නඩු පැවරීමේ දී පොලීසිය අනුගමනය කරන ක්‍රියා ක්‍රියා පටිපාටිය සම්බන්ධයෙන් ජනතාවගෙන් චෝදනා එල්ලවී ඇති බවද සඳහන් කළේය.
ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේද සඳහන් කළේය.
" ඉඳලා හිටලා එක සාම්පලයක් වැරදි වෙන්න පුළුවන්. සමහර පොලිස් වලින් සාම්පල 20- 30 වැරදියට එවනවා. කුඩු නොවන දේවල් විෂ මත්ද්‍රව්‍ය කියලා එවලා තියෙනවා. මේ නීතිය අවභාවිතා වෙනවා. නීතියේ යම් ප්‍රතිසංස්කරණයක් විය යුතුයි. පැනඩෝල් කුඩු යොදලා සැකකරුවකු ඉදිරිපත් කළත් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් සැකකරුවකු ලෙස රිමාන්ඩ් වෙනවා. මාස ගාණකින් රස පරීක්ෂක වාර්තා එනකොට ඒවායේ විෂ මත්ද්‍රව්‍ය අඩංගු නැහැ.පළිගැනීමට බොරු චෝදනා දානවා කියලා ජනතාව කියනවා. එහි යම් සත්‍යයක් තියෙනවා."

