අධ්‍යක්ෂ මණ්ඩල ඉවත් කිරීම ගැන මත ගැටුම්


(රංජන් කස්තුරි)

මහජන බැංකුව, ලංකා බැංකුව සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යන අයතනවල සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරුවන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබේ.

එම රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල විසුරුවා හැරි බවට ඊයේ (17) ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළද අද (18) රාත්‍රීය වන තුරු ඒවායේ සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ඉවත්වීමක් හෝ ඉල්ලා අස්වීමක් හෝ  සිදු නොවූ බව වාර්තා වේ.

මහජන බැංකුව සහ ලංකා බැංකුව ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාට අයත් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍යාංශයට අයත්වන අතර ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය අයත්වන්නේ සංවර්ධන ක්‍රමෝපාය හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයටය.

එම ආයතනවලට සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කර ඇත්තේ එම විශයභාර ඇමතිවරුන් වන අතර ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේ ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයා හෝ මලික් සමරවික්‍රම ඇමතිවරයා හෝ සභාපතිවරුන්ට හෝ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමක් අද පස්වරුවේ වන විටත් නොතිබු බවය.