අද දවසේ වැසි තත්ත්වය


(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන අද (10) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, උතුරු මැද සහ ඌව පළාත්වල මිලිමීටර 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව පළාත්වල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ද පැවතිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.

සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම මෙම මස 14 වැනිදා දක්වා සිදු වන අතර ඒ අනුව අද (10) දහවල් 12.11 ට නොරොච්චෝලේ, කරුවලගස්වැව, පලුගස්වැව, උස්වැව, සිංහපුර, කැලෑකරඹෑව සහ කුමාදිය යන ප්‍රදේශයන්ට ඍජුවම හිරු මුදුන්වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.