අද දවසේ කාලගුණය


(ඩයනා උදයංගනී)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන අද (12) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර 100ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. සූර්යයා දෘෂ්‍ය ලෙස උතුරට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම මෙම මස 14 වැනිදා දක්වා සිදු වන අතර ඒ අනුව අද (12) දහවල් 12.11 ට වෙප්පන්කුලම්, මඩුපාර, පිරමනලාන්, පැම්පායිමඩු, පාන්ඩිකුලම් සහ පෙරියකච්චි වැව යන ප්‍රදේශයන්ට ඍජුවම හිරු මුදුන්වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.