(තිළිණි ද සිල්වා)
නීතිවිරෝධී ලෙස නෞකාවලට තෙල් ලබා ගනිමින් ඉන්ධන ජාවාරමක නිරතව සිටියදී නයිජීරියා පොලිස් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 7 දෙනා සම්බන්ධයෙන් නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය එරට රජයට සමඟ සාකච්ඡා කරන බව එම මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කර සිටී.
නයිජීරියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ලාංකිකයින් මේ වනවිට එරට ලාගෝස් නුවර පොලිස් රැඳවුම් බාරයට පත් කර ඇතැයි නයිජීරියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.
එම ලාංකිකයින් 7 දෙනා වෙළඳ නැවියන් බවට තහවුරු වුවද , ඔවුන්ගේ නම් ගම් පිළිබඳ තොරතුරු නිල මට්ටමින් තහවුරු කර ගැනීම මහකොමසාරිස් කාර්යාල බලධාරීන් එරට රජය සමඟ කටයුතු කරන බවද එම ආරංචි මාර්ග වැඩදුරටත් සඳහන් කර සිටී.
නීතිවිරෝධී ලෙස නෞකාවලට තෙල් ලබා ගනිමින් ඉන්ධන ජාවාරමක නිරතව සිටියදී නයිජීරියානු පොලිසිය විසින් ශ්‍රී ලාංකියින් ඇතුළු පුද්ගලයින් 66 දෙනෙකු නයිජීරියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූහ.
නයිජීරියානු නාවික හමුදාව පසුගිය දෙසැම්බර් මාසය තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන වෑන්ගාඩ් ප‍්‍රවෘත්තියේ සේවා වෙබ් අඩවිය පෙරේදා (05) වාර්තා කළේය.
ලාංකිකයින් 7 දෙනාට අමතරව නයිජීරියානු ජාතිකයින් 57 දෙනෙකු සහ ඝානා ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර වන බව සඳහන් වේ.
එහිදී වෙළඳ යාත‍්‍රා 7 ක් ද නාවික හමුදා බාරයට ගෙන ඇති අතර මොවුන් විසින් සැලසුම් කර තිබු මහාපරිමාණ ඉන්ධන ජාවාරම සාර්ථක වූයේ නම් එරට ඉන්ධන කර්මාන්තයට විශාල පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බව නයිජීරියානු බලධාරීන් සදහන් කළ බවද වෑන්ගාඞ් පුවත් සේවා වාර්තාවේ සඳහන්ව ඇත.
මෙම ජාවාරමේ නිරත වූවන් පසුගිය දෙසැම්බර් 3 වැනිදා සිට 30 වැනිදා දක්වා කාලය තුළ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුන් නයිජිරියානු ආර්ථික සහ මූල්‍ය අපරාධ කොමිසම වෙත භාර දීමට එරට පොලිසීය කටයුතු කරනු ලැබ ඇත.
මෙම ජාවාරම්කරුවන්ගේ ඉන්ධන ජාවාරම සාර්ථක වූයේ නම් ඉන් නයිරා - කෝටි 90කට වැඩි පාඩුවක් සිදුවන බවද නයිජීරියා බලධාරීන් සඳහන් කර තිබේ.

