අජිත් රෝහණ 31දා ජනපති කොමිසමට කැඳවයි


(දසුන් රාජපක්ෂ)

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන 31 වැනිදා පෙනී සිටින ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාට එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද(28) නියෝග කළේය.

ජනාධිපති කොමිසමේ සභාපතිවරයා මෙම නියෝගය කර සිටියේ වැඩ තහනමට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ගොනුකර ඇති පැමිණිල්ලේ වගඋත්තරකරුවකුගේ සාක්ෂිකරුවකු ලෙස අජිත් රෝහණ මහතාට පෙනී සිටින ලෙසයි.

අසත්‍ය චෝදනා මත තමාට එරෙහිව නඩු පවරා වැඩ තහනමකට ලක් කර ඇත්තේ යහපාලන රජය තමාගෙන් දේශපාලනිකව පළිගැනීමට බව මෙම පැමිණිල්ල මගින් ලලිත් ජයසිංහ මහතා සඳහන් කර සිටී.

එම පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස සහකාර පොලිස්  අධිකාරී කිංස්ලි ගුණසේකර මහතා නම් කර තිබෙන අතර, ඔහුට අදාළ සාක්ෂිකරුවකු ලෙස අජිත් රෝහණ මහතා අද(28) නම්කෙරිණි.

මෙම ජනාධිපති කොමිසම විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද රැස්විය.