අගමැති කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්


(අංජුල මහික වීරරත්න)

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටුවීම අද සිදු කෙරිණි.

අල්ලස හා දුෂණයෙන් තොර රාජ්‍ය  සේවයක් වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය අභ්‍යන්තර කටයුතු ඒකකය පිහිටවූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

ජනාධිපති ලේකම් නිකුත් කළ  PS/SB/Circular/2/2025 චක්‍රලේඛය අනුව පිහිටවුණු මෙම අභ්‍යන්තර කටයුතු ඒකකය  අග්‍රාමාත්‍ය ලේකම්  ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06)  අරලියගහ මන්දිරයේ දී විවෘත කෙරිණි.

ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ  අභ්‍යන්තර කටයුතු ඒකකයේ ප්‍රධානී ලෙස අතිරේක ලේකම් (පාලන) රුවන් ජයසුන්දර මහතා ද, සුපිළිපන්න නිලධාරී ලෙස පරිපාලන නිලධාරී කේ. ඒ. එස්. ශ්‍රීපාලි මහත්මිය ද පත්කර තිබේ. 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය තුළ දූෂණය මැඩලීමේ ක්‍රියාවලියේ ප්‍රධාන මුල පිරීමක් ලෙස රාජ්‍ය අංශය පුරා විනිවිදභාවය, වගවීම සහ සුපිළිපන්නභාවය පෝෂණය කරන සංස්කෘතියක් නිර්මාණය කර, සියලුම පුරවැසියන්ට ඵලදායි රජයේ සේවාවන් සැපයීම මෙහි අරමුණයි.