අංගොඩ ලොක්කා ඉන්දියාවේ සිට මෙරට වගුරු බිම් දෙකක් ගොඩකරවලා


 ( +++ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මුල්ලේරියාව, අංගොඩ ප්‍රදේශයේ වගුරුබිම් දෙකක් පාතාල කල්ලියක් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වකිණීම සඳහා ගොඩකරමින් සිටියදී කැලණිය කොට්ඨාස හා අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් එම ස්ථානය වටලා වගුරුබිම් යළි අත්පත්කරගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට ඊයේ (02) පැවසීය.

පාතාල නායකයකු බවට සැලකෙන අංගොඩ ලොක්කා නමැත්තාගේ ගෝලබාලයන් බව කියන පිරිසක් විසින් මෙම වගුරුබිම් දෙක ගොඩකරමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත බස්නාහිර පළාත උතුරු කොට්ඨාස බාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ අංගොඩ ප්‍රදේශයට ගොස් මෙම වැටලීම කර ඇත.

වැටලීම සිදුකරන අවස්ථාව වනවිට අංගොඩ ප්‍රදේශයේ එක් වගුරුබිම් ප්‍රදේශයක් අක්කර 3 1/2ක පමණ ප්‍රමාණයක්ද එම ප්‍රදේශයේ තවත් වගුරුබිමක් අක්කර 3ක පමණ ප්‍රමාණයද ගොඩකර තිබිණි යැයි පොලිසිය කියයි.

වගුරුබිම් දෙක ගොඩකිරීම සඳහා යොදාගත් බව කියන විශාල ප්‍රමාණයේ යන්ත්‍ර දෙකක්ද පොලිස් බාරයට ගෙන තිබේ.

 පොලිස් කණ්ඩායම වැටලිම සිදුකරන අවස්ථාවේ එම පාතාල සාමාජිකයන් බව කියන පිරිස එම ස්ථානවල නොසිටි අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ පවත්වාගෙන යන බවද එම නිලධාරියා කීය.

පාතාල ලෝකයේ නායකයකු බව කියන අංගොඩ ලොක්කා නැමැත්තා ඉන්දියාවට පළාගොස් වසර කිපයක සිට එම  රටේ වෙසෙන අතර ඔහු එරටේ සිට සිය පාතාල සාමාජිකයන් යොදවා වගුරු බිම් බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඒවා ගොඩකරන බවට තොරතුරු හෙළිවී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

 මෙසේ බලහත්කාරයෙන් අත්පත් කරගෙන ගොඩකරන වගුරුබිම් පාතාල පිරිස් විසින්ම කොටස්කර පාතාල පිරිස් විසින්ම විකිණුන බවටද තොරතුරුද පොලිසියට ලැබී අති බව පැවසේ.

වගුරුබිම් ගොඩකිරීම හේතුවෙන් වර්ෂා කලවලදී වතුර බැසයාම නිසි පරිදි සිදුනොවන බැවින් එම ප්‍රදේශ ගංවතුරට යටවන බව පොලිසියට පෙනීගොස්  ඇතැයි කියති.

බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ බස්නාහිර පළාත උතුරු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර  මහතාගේ විශේෂ උපදෙස් යටතේ කැලණිය කොට්ඨාසය බාර පොලිස් අධිකාරි රොෂාන් ඩයස් සහ කැලණිය සහකාර පොලිස් අධිකාරි චන්දන ලියනගේ යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්‍ෂක සමීර මංජුල කුලසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම් සිදුකර ඇත.