ASP විභාග පවත්වා වසර දෙකක් ගියත් පත්වීම් නෑ


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොලිසියේ සහකාර පොලිස් අධිකාරී (ඒ.එස්.පී.) තනතුර සඳහා තරග විභාගය පවත්වා වසර දෙකක කාලයක් ගතවුවද මේ දක්වා එම තනතුරුවල පත්වීම් දීමට බලධාරීන් අසමත්ව ඇතැයි පොලිස් නිලධාරීහූ චෝදනා කරති.

එම විභාගයට පෙනී සිටි නිලධාරීන්ගේ සම්මුඛ පරීක්‍ෂණ පසුගිය පෙබරවාරි මස පැවැත්වූ බවත් විභාගයේ සහ සම්මුඛ පරීක්‍ෂණ යන දෙකේ ලකුණු එකතුවේ අවසන් ලැයිස්තුව මීට මාස දෙකකට පමණ පෙර ජාතික පොලිස් කොමිසමට යොමුකර ඇති බවත් එම නිලධාරීහූ කියති.

තේරීපත්වූ නිලධාරීන්ගේ අයහපත් වාර්තාවල දෝෂ සහිත යැයි ප්‍රතිඵල ප්‍රමාද කරන බව කියන පොලිස් නිලධාරීහූ අයහපත් වාර්තා සකස් කරන පොලිස් මූලස්ථානයේ මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසය සහ මහජන ආරක්‍ෂක අමාත්‍යංශය වගකිවයුතු බව ද සඳහන් කරති.

සහකාර පොලිස් අධිකාරී පත්වීම් දීම ප්‍රමාද කිරීම සඳහා දෝෂ සහිත වාර්තා සිතාමතාම සකස් කරන්නේ දැයි සැකයක් මතුවන්නේ යැයි කියන පොලිස් නිලධාරීහූ මෙම තත්වය හමුවේ තමන් දැඩි කස්සල්ලට පත්ව සිටින බව ද සඳහන් කරති.
මෙම තත්වය පිළිබඳව ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයෙකුගෙන් කළ විමසුමකදී පැවසුවේ මෙහිදී පුරප්පාඩු වී ඇති සහකාර පොලිස් අධිකාරී තනතුරු 43 ක් සඳහා නිලධාරීන් තෝරා විභාග දෙපාර්තමේන්තුව ලැයිස්තුවක් යොමුකර ඇති බවත් කෙසේ වෙතත් එම නිලධාරීන්ගේ රාජකාරිය සම්බන්ධයෙන් ‘අසාදු වාර්තා’ යොමුකිරීමට පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රමාද කිමින් සිටින බවත්ය.

එම නිලධාරීන් 43 දෙනාට අදාල ‘අසාදු වාර්තා’ යොමුකරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට කීපවරක් සිහිකැදවීම් කළ බව ද එම සාමාජිකයා සඳහන් කළේය.

සහකාර පොලිස් අධිකාරීවරයෙක් යනු පොලිස් දෙපාර්තමේන්තුවේ වඩාත් වගකීමක් ඇති තනතුරක් බැවින් ඒවා විභාග ලකුණු සහ සම්මුඛ පරීක්‍ෂණ තොරතුරු මත දියනොහැකි බවත් අදාල නිලධාරීන්ගේ පෞද්ගලික තොරතුරු, විභාග සහතික, සේවා තොරතුරු ආදි සියලුම දේවල්වල සත්‍යතාව තහවුරු කරගත යුතු බවත් ඒ සඳහා කාලයක් ගත වන බවත්ය.

අදාල නිලධාරීන් පිළිබඳව සීඅයිඩී, ටීඅයිඩී සහ ඔහු පදිංචිව සිටින ප්‍රදේශයේ පොලිස් වාර්තා ආදි සියලුම වාර්තා කැඳවන බවත් උදාහරණයක් ලෙස නිලධාරීයෙක් විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර ශි්‍යයෙක්ව සිටියේ නම් ඔහු එහිදී නවකවදයට සම්බන්ධ වී තිබේද යන පිළිබඳව තහවුරු කරගන්නා බවත් ජාතික පොලිස් කොමිසමේ එම සාමාජිකයා වැඩි දුරටත් සඳහන් කළේය.