'අපි ශ්‍රී ලංකා' සමුළුවට සහභාගි වූ සංවිධායකවරුන් වෙනුවට වෙනත් පිරිසක් පත්කිරීමට යයි


(අජන්ත කුමාර අගලකඩ)

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අද (05) පැවැති 'අපි ශ්‍රී ලංකා' සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන් සංවිධායකවරුන් වෙනුවට ආසනවලට වැඩ බලන සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රීලනිපය මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ශ්‍රීලනිප වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මූලස්ථානයේ අද රාත්‍රී පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි වී සිටියේය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයේ අනුශාසක ධූරයෙන් ඉවත් කරන බව සහ එතුමියගේ සාමාජිකත්වය අත්හිටුවන බවට ආරංචි පැතිර ගියද අද රාත්‍රී පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් කිසිඳු තීන්දුවක් ගෙන නොමැත.

ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයදීමට ශ්‍රීලනිපය ගත් තීන්දුව විවේචනය කරමින් හිටපු ජනාධිපතිනිය විසින් ජනාධිපතිවරයාට එවන ලද ලිපිය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර තිබූ අතර එම ලිපිය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී නොමැත.

එම ලිපිය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන ලද බව එතුමියට ලිපියක් මගින් දැනුම්දීමට එහිදී තීරණය වී තිබේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ගෙනයන මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී ඇති අතර පක්ෂයේ උපරිම ශක්තිය යොදවා රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට ද මෙම කාරක සභාව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ එක්ව පවත්වන රැස්වීම් මාලාවට අමතරව ශ්‍රීලනිපය වෙනමම රැස්වීම් මාලාවක් පැවැත්වීමට ද මධ්‍යම කරක සභාව තීරණය කර ඇත.