’චිචීගේ රොකට්ටුව’ ගිනි ගනියි


අගමැතිනියට දුන් තොරතුරු ගැන විමර්ශනයක් - හරිනිට දශම පැටලුණාද?

උපුල් වික්‍රමසිංහ

සු්‍රම් සැට් චන්ද්‍රිකා සන්නිවේදන ව්‍යාපෘතියෙන් උපයන ලද ආදායම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අගමැතිවරියට ලබා දුන් තොරතුරුවල සත්‍යාසත්‍ය බව පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් ඉරිදා ලංකාදීපය වෙත දැන ගන්නට ලැබේ.

මේ බව තහවුරු කරමින් ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු පැවසුවේ අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අගමැතිවරියට ලබා දුන් තොරතුරු වැරදි බවත් විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇති බවත් ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂගේ අධීක්ෂණය යටතේ 2012 වසරේ දී ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතියෙන් රජයට 2015 සිට 2023 දක්වා කාලයේ දී රුපියල් මිලියන 343,909 ක ආදායමක් ලැබී ඇති බවත් ඊට රජයෙන් මුදල් ආයෝජනය කර නොමැති බවත් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඉකුත් 6 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැවසුවා ය.

එහෙත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ ඊට පසු දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ අදාළ චන්ද්‍රිකා සන්නිවේදන ව්‍යාපෘතියේ ආදායම් සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය අගමැතිවරියට වැරදි තොරතුරු සපයා ඇති බව ය.

මේ අතර සුප්‍රීම් සැට් සම්බන්ධයෙන් පසුගිය බදාදා අගමැතිනිය කළ ප්‍රකාශයේ දී දශමස්ථාන නොපෙනී යාම නිසා වැරදි අදහසක් කියවුණාදැයි මේ වනවිට කසුකුසුවක් පැතිර යමින් තිබේ. එයට හේතුව ඇය කියූ සංඛ්‍යාවන්ගේ දශම ස්ථාන වෙනස් කිරීමෙන් පසුව කියැවෙන ආකාරය ඊට පසුදා අමාත්‍ය වසන්ත සමරසිංහ විසින් ඉදිරිපත් කළ සංඛ්‍යා ලේඛනයේ තිබීමයි. 

පසුගිය බදාදා (06දා) අගමැතිනිය ඉදිරිපත් කළ ආකාරයට සුප්‍රීම් සැට් ආයතනය 2015-2016 රු.මිලියන 19617, 2016-2017 රු.මි. 28133, 2017-2018 රු.මි. 29106, 2018-2019 රු.මි.34169, 2019-2020 රු.මි. 42960, 2020-2021 රු.මි. 62545, 2021-2022 87789 ක් සහ 2023 මුල් මාස 6 39590 ක් ලෙස විය. 

බ්‍රහස්පතින්දා දිනයේ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා ඉදිරිපත් කළ දත්ත මෙසේය. 015-2016 රු.මිලියන 19.617, 2016-2017 රු.මි. 28.133, 2017-2018 රු.මි. 29.1, 2018-2019 රු.මි.34.1, 2019-2020 රු.මි. 42.9, 2020-2021 රු.මි. 62, 2021-2022 87 ක් සහ 2023 මුල් මාස 6ට 39.5 ක් ලෙස එය දැක්විණ. ​

මේ අනුව පැහැදිලිවම දශම ස්ථාන ගැටලුවක් ඇති අතර දශමස්ථානය නොයොදා මෙම ලේඛනය අගමැතිනියට ලබා දුන්නාද නැත්නම් අගමැතිනිය අතින් දශමස්ථාන ගිලිහුණාද යන්න විමර්ශනවලින් පසුව තහවුරු වනු ඇත.


රොකට් එක පැලවත්තට වට්ට ගන්න එපා - නාමල් රාජපක්ෂ  

“චිචී ගේ රොකට් එක තියන තැන දැන් ආණ්ඩුව හොයා ගත්තනේ. ඒක පැලවත්ත පක්ෂ කාර්යාලය උඩට වට්ට ගන්න එපා කියලා මම කියනවා.” යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

“චිචීගේ රොකට්ටුව” ලෙස ප්‍රසිද්ධ චන්ද්‍රිකා කක්ෂගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් අගමැතිනියත් ඊට පසු අමාත්‍ය වසන්ත සමරසිංහත් කළ ප්‍රකාශ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් අප කළ විමසුමකදී ඔහු මෙම අදහස් දැක්වීය. මෙම සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළින්ම පරස්පර කරුණු මතු වීම විමතියක් බවත් මෙයින් ආණ්ඩුවේ බෙදීමක් දැක ගත හැකි බවත් ඔහු පැවසීය. මෙවැනි දේ ගැන නොව ආණ්ඩුව ජනතාව ගැන සිතීම වැදගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.


චන්ද්‍රිකාව නැගෙනහිර කක්ෂයේ සක්‍රීයව පවතිනවා - -සු්‍රම් සැට් පුද්ගලික සමාගම

උපුල් වික්‍රමසිංහ

වසර දහ තුනක් පුරා ජනතාව නොමග යවමින් පටු දේශපාලන වාසි තකා පැතිරූ කටකතාව වෙනුවට සත්‍ය අනාවරණය වීම සමාගම ලැබූ ජයග්‍රහණයක් බව සු්‍රම් සැට් පුද්ගලික සමාගම නිවේදනයක් නිකුත් කරමින් පසුගිය සිකුරාදා (08දා) ප්‍රකාශ කළේය.

එහි සභාපති ආර්.එම්. මනිවන්නන්ගේ අස්සනින් යුතුව නිකුත් කොට ඇති අදාළ නිවේදනයෙහි දැක්වෙන්නේ SUPREMESAT – 1 චන්ද්‍රිකාව මේ වෙන විටත් 87.5 නැගෙනහිර කක්ෂයේ නිවැරදිව සක්‍රීය ලෙසින් පවතින බවත් මූලික දියත් කිරීමේ සිටම චන්ද්‍රිකාව විද්‍යානුකූලව ස්ථානගත කර ඇති බවත් ය.

තාක්ෂණික ක්‍රමවේදයන්ට අනුව අන්තර් ජාතික චන්ද්‍රිකා ගවේෂණ සුහුරු මෙවලම් ඔස්සේ චන්ද්‍රිකාවේ පිහිටීම ලබා ගැනීමේ හැකියාව තිබිය දී අසත්‍ය පැවසීම සහ ආයතනික ගිණුම් පිළිබඳව සාවද්‍ය දත්ත සැපයීම පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ද එහි සඳහන් වේ.