​සංස්ථා මණ්ඩල ලොකු පුටු හොල්ලයි


(අජන්ත කුමාර අගලකඩ) 

රජයේ සංස්ථා සහ මණ්ඩල කිහිපයක සභාපතිවරුන්ගේ හා අධ්‍යක්ෂ මණ්ඩලවල වෙනසක් ඉදිරි සති කිහිපයේදී සිදුවනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 


ඇතැම් ආයතනවල සභාපතිවරුන්ගේ පමණක් වෙනසක් සිදුකිරීමට නියමිත අතර, ඇතැම් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩලයම අලු‍තින්ම පත් කෙරෙනු ඇතැයි ද එම ආරංචිමාර්ගවලින් පැවසේ.

රජයේ සංස්ථා හා මණ්ඩලවල පුළුල් වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන්, ඒවායේ ප්‍රධානින් මෙසේ මාරු කෙරෙනු ඇතැයිද එම ආරංචිමාර්ගවලින් පැවසේ. 


මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතා පසුගියදා ඉවත් කර, ඒ වෙනුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත් කරනු ලැබීය. මේ අතර, ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙශාර ජයසිංහ මහතා ඉන් ඉවත් කර ජනාධිපතිවරයා විසින් ඔහු එදිනම නැවතත් පත් කරනු ලැබීය. 


මාර්ග සංවර්ධන අධිකාරිය සහ මග නැගුම ආයතනයේ සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ද ඉල්ලා අස්වන ලෙස මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉකුත්දා දැනුම් දී තිබිණි. 


මේ අතර, අමාත්‍යංශ ලේකම්වරුන් කිහිපදෙනෙකුගේ තනතුරුවල ද වෙනස්කම් සිදුවීමට නියමිතව ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි.