හිටිහැටියේ කෝටිපතියන් වු බන්ධනාගාර ලොක්කන් 15ක් ගැන විමර්ශන


සුජිත් හේවාජුලිගේ සහ මනෝප්‍රිය ගුණසේකර

සියලු‍ බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇත. මේ අතර සුපිරි නිවාස සහ යානවාහන ලබාගෙන හිටිහැටියේ කෝටිපතියන් බවට පත්ව ඇතැයි පැවසෙන බන්ධනාගාර ප්‍රධානීන් පහළොස් දෙනකු පිළිබඳවද විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමුවී ඇත.

බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසට විවිධ පුද්ගලයන්ගෙන් සහ සිවිල් සංවිධානවලින් ලැබී ඇති පැමිණිලි අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත. මේ අනුව  බන්ධනාගාර ප්‍රධානීන්ගේ බැංකු ගිණුම්, යාන වාහන, ඉඩකඩම් ඇතුළු සියලු‍ දේපළ සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත  පූර්ණ විමර්ශනයක් කෙරෙනු ඇත.

සියලු‍ බන්ධනාගාර ප්‍රධානීන් රජයට ඉදිරිපත් කළ ආදායම් වාර්තාවල (වත්කම් බැරකම් ප්‍රකාශ) සඳහන් දේපළවලට වඩා වැඩි දේපළක් ඔවුන් සන්තකයේ තිබේ නම් ඒවා උපයා ගත් ආකාරය පිළිබඳව ඔවුනට අධිකරණයට කරුණු දැක්වීමට සිදුවන බව අල්ලස් කොමිසමේ නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් අප මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද  විජේපාල ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ සියලු‍ බන්ධනාගාර ප්‍රධානීන්ගේ වත්කම් සම්බන්ධයෙන් පූර්ණ වශයෙන් සොයා බලන බවයි. එසේම පාතාලය සමඟ ගනුදෙනු පවත්වන, ඔවුන් ගෙන් වාසි වරදාන ලබා ගන්නා බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන්ද සොයා බලන බව ඔහු සඳහන් කළේය.

මේ අතර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් ඉදිරි දිනවල කෙරෙනු ඇත. ඒ යටතේ ඉහළ නිලධාරීන්ගේ පුටු මාරුවක්ද සිදුවනු ඇතැයි අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍යාංශයේ  නිලධාරියෙක් පැවසීය. දීර්ඝ කාලයක් එකම ස්ථානයක රාජකාරි කළ බන්ධනාගාර අධිකාරිවරුන්ද ඉදිරියේ දී  මාරුකර යැවෙනු ඇත. එසේම ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් නිදහස් කිරීමෙන් ඇතැම් බන්ධනාගාර ප්‍රධානීන් ලබාගෙන ඇතැයි පැවසෙන මුදල් ඇතුළු විවිධ සන්තෝසම් සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වමින් සිටී.

විවිධ චෝදනා යටතේ සිරදඬුවම් විඳිමින් සිටි බොහෝ අපරාධකරුවන් උසස් බන්ධනාගාර නිලධාරීන්ගේ සම්බන්ධතා මත නිදහස් කර යවා ඇද්ද යන්න පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති රහස් පොලිසිය ලංකාව පුරා ඇති බන්ධනාගාර 28ක අධිකාරිවරුන් පිළිබඳව මෙන්ම උසස් බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම් පිළිබඳවද විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ලංකාව පුරා විවිධ බන්ධනාගාරවල රඳවා සිටි සිරකරුවන් මෙලෙස නිදහස් කර යවා ඇති බව හෙළි වී ඇතැයිද ඒ සඳහා ඔවුන් භාවිත කර ඇති ක්‍රමවේද හෙළි කර ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද වාර්තාවේ.