සූර්ය - සුළං බලාගාර ව්‍යාපෘති අවුරුද්දක්ම යට ගහලා


රටම විදුලිය අර්බුදයක

(උපුල් වික්‍රමසිංහ) 

වසර 2030 වනවිට රටේ සමස්ත විදුලිය ඉල්ලුමෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ රජයේ ඉලක්කයට ළඟාවීමට බාධාවන අයුරින් සූර්ය හා සුළං ප්‍රභවයන්ගෙන් මෙගාවොට් 190 ක විදුලිය නිපදවීමට අදාළ ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවීම වසරක කාලයක් තිස්සේ ප්‍රමාදකර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය.

2020 වසරේ අගෝස්තු මසදී මෙගාවොට් 150 ක සූර්ය බලශක්ති විදුලිබලාගාර හා මෙගාවොට් 40 ක සුළං විදුලි බලාගාර ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළද සූර්ය සුළං සහ ජල විදුලි ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය අදාළ අනුමැතිය ලබා ගැනීම පමා කරමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය. 


ටෙන්ඩර් ක්‍රමය ඔස්සේ අඩුම මිලකට විදුලිය සැපයීමට ඉදිරිපත්වන සැපයුම්කරුවන් තෝරා ගන්නා ක්‍රමය වෙනුවට කලින් පැවැති සම්මත මිල ගණන් යටතේ විදුලිය සැපයීමේ ව්‍යාපෘති ලබා දීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍යාංශයට තිබෙන්නේද කියා සාධාරණ සැකයක් මතු වන බව කී ඔහු 2030 වනවිට විදුලිය ඉල්ලුමෙන් සියයට 70 ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ ඉලක්කයට ළඟා වීමටනම් එවැනි බලාගාර සඳහා වන ටෙන්ඩර් කැඳවීම් වසරකට තුනක්වත් සිදු කළයුතු බවද ප්‍රකාශ කළේය. 


අප මේ ගැන වීමසීමට සූර්ය සුළං සහ ජල විදුලි ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා දුරකතනය ඔස්සේ සම්බන්ධකර ගැනීමට ගත් උත්සාහය ව්‍යවර්ථ විය.