සමාජ ක්‍රියාකාරකම් සහ ප්‍රවාහනයට සීමා


නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්  

 

(අජන්ත කුමාර අගලකඩ) 

රටපුරා කොරෝනා රෝගීන්ගේ ශීඝ්‍ර ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත්  කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ. 


සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නව මාර්ගෝපදේශ මාලාව  මේ සති අන්තයේදී නිකුත් කෙරෙනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවසීය.

 කොරෝනා වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත විම හමුවේ දෛනික රෝගීන් වාර්තා වීම විශාල වශයෙන් වැඩිවෙමින් තිබෙන අතර, දෛනික කොරෝනා මරණ ගණන ද සියයකට ආසන්න වෙමින් තිබේ . 


 මේ තත්ත්වය හමුවේ සමාජ ක්‍රියාකාරකම් සීමා කරමින් හා ප්‍රවාහන කටයුතුවලට අදාළ සීමා පනවමින් මෙම නව මාර්ගෝපදේශ මාලාව නිකුත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ . 


 රාජ්‍ය ආයතනවල කටයුතු ඉකුත් සඳුදා සිට සාමාන්‍ය තත්ත්වයට පත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලු‍ම රාජ්‍ය සේවකයින් සේවයට කැඳවමින් චක්‍රලේඛයක් ඉකුත් සතියේ නිකුත් කරනු ලැබූ අතර, එයද සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත. 


 මේ අතර, රජයේ සියලුම උත්සව ලබන මස පළමුවැනිදා දක්වා කල් දමා ඇති අතර, රජයේ ආයතනවලට කැඳවනු ලබන සේවකයන් ගණන තීරණය කිරීමේ බලය ආයතන ප්‍රධානීන්ට පවරනු ලැබ ඇත.
අවමංගල උත්සවයකට වරකට සහභාගී විය හැකි පුද්ගලයන් සංඛ්‍යාවද විසි පහකට සීමා කර ඇති අතර, විවාහ මංගල උත්සව සඳහා සහභාගී කරවා ගතහැකි පිරිසද සීමා කර ඇත.


කොවිඩ් මර්දන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (6) ජනාධිපති කාර්යාලයේ පැවති අතර, රටේ ඇති වී තිබෙන අවදානම් තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත. 


 පවතින තත්ත්වය හමුවේ රට වසා දැමීමක් සිදු නොවන බව ජනාධිපතිවරයා එහිදී පවසා ඇති අතර, ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශවලට උපදෙස් දී ඇත . 
 සමාජ ක්‍රියාකාරකම් සීමා කරමින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇතැයි දැනගන්නට තිබේ . 


 කොවිඩ් පැතිරීම හමුවේ ප්‍රධාන පෙළේ අමාත්‍යංශ පහක අමාත්‍ය කාර්යාල පහක් මේ වන විට වසා දමා ඇති අතර, පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සිවුදෙනෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇත.