සංචරණ සීමා දීර්ඝ කිරීමේ තීන්දුව මේ සතියේ


රටම සති දෙකකට වහන්න සෞඛ්‍ය අංශ රජයෙන් ඉල්ලයි

(අජන්ත කුමාර අගලකඩ)  

රටපුරා ලබන සිකුරාදා (28) වන තෙක් පනවා ඇති සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කරන්නේද? නැද්ද? යන්න මේ සතියේ කොරෝනා තත්ත්වය අනුව තීරණය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්‍ඨ ප්‍රකාශකයෙක් ඉරිදා ලංකාදීපයට පැවැසීය.  


කොරෝනා පාලනය කිරීමේ පියවරක් ලෙස ඉකුත් සිකුරාදා (21) රාත්‍රී 11 සිට රටපුරා සංචරණ සීමා පැන වුණ අතර එය ලබන 25 වැනිදා උදේ හතරට ඉවත්කර නැවත පැනවීමටත් එය ලබන සිකුරාදා (28) අලුයම හතරට නැවත ඉවත් කිරීමටත් රජය තීරණය කර ඇත. 

දිවයින පුරා කොරෝනා රෝගීන් ව්‍යාප්ත වීමේ ශීඝ්‍ර වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරන අතර ඉකුත් බදාදා දිනයේ පමණක් කොරෝනා රෝගීන්ගේ ගණන 3500 ද ඉක්මවා ගියේය.  


මේ අතර කොවිඩ් නියුමෝනියා තත්ත්වයට පත් වූ රෝගීන් දාහකට අධික පිරිසක් දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ගිය සතියේ ප්‍රකාශ කළේය.  


මේ තත්ත්වය තුළ රට සති දෙකක කාලයකටවත් වසා තබන්නැයි සෞඛ්‍ය අංශ රජයෙන් ඉල්ලීමක් කර ඇත.