සංචරණ සීමා සඳුදා ඉවතට


පළාත් අතර ගමන් තහනම දිගටම

(සුජිත් හේවාජුලිගේ) 

කොවිඩ්-19 පාලනය කිරීම සඳහා රට පුරා පනවා ඇති සංචරණ සීමා ලබන 14 වැනිදා (සඳුදා) අලු‍යම 4.00ට ඉවත් කරන බව කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 

රට පුරා සංචරණ සීමා ඉවත් කෙරුණද පළාත් අතර ගමන් කිරීමේ සීමාව ඇතුළු අනෙකුත් සීමා දිගටම ක්‍රියාත්මක කෙරෙනු ඇති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 


සංචරණ සීමා සහ වෙනත් කටයුතු සම්බන්ධයෙන් පැතිර යන කටකතා අසත්‍ය යැයි ද ඒවා විශ්වාස නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය. 
වෛද්‍ය විශේෂඥයන් සහ අදාළ අංශවල නිලධාරීන් සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බව ඔහු කීවේය. 


කොවිඩ්-19 පාලනය සඳහා දිවයින පුරා මෙම සංචරණ සීමා පනවනු ලැබුවේ පසුගිය මැයි මස 21 වැනිදා සිටය. 


රට පුරා සංචරණ සීමා අද වනවිට ක්‍රියාත්මක කර ඇති දින ගණන 20කි. 


මේ අතර මත්පැන් ශාලා වසා දැමීම ද විවාහ මංගල්‍ය උත්සව ආදිය තහනම ද කොවිඩ් පාලනය සඳහා දිගටම ක්‍රියාත්මක වන බව රජයේ ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.