ශ්‍රීලනිපය වෙනම ගමනකට සැරසෙයි


(අජන්ත කුමාර අගලකඩ)   

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාලන අර්බුදය මේ වන විට උග්‍ර වී ඇති අතර, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත්සභා මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්‍රීලනිපය දැන් සිටම සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.  

ශ්‍රීලනිපය, පුරප්පාඩු වී ඇති ආසන සංවිධායකයන් සහ දිස්ත්‍රික් සංවිධායකයන් පත් කිරීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, පක්ෂ මූලස්ථානයේ දී පසුගිය සතිය පුරා ඒ සම්බන්ධ සම්මුඛ පරීක්ෂණ පැවති බවද වාර්තා වේ.   
 ආණ්ඩුව තම පක්ෂය නොසලකා හරිමින් කටයුතු කරන බවට එම පක්ෂයේ බොහෝ දෙනකු පසුගිය කාලය පුරා චෝදනා කළ අතර, මේ හේතුවෙන් පළාත් පාලන ආයතනවල අයවැය ඡන්ද විමසීම්වල දී තමන්ට කැමති තීන්දුවක් ගන්නැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන ඇමැති මහින්ද අමරවීර මහතා පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය.   


 මේ අතර, පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කර ගනිමින් ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් මඩ ප්‍රචාර ගෙන යන බවට පක්ෂයේ මහ ලේකම් ඇමැති දයාසිරි ජයසේකර මහතා ගිය සතියේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.   


 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ප්‍රබලයකු වන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා අතර ඉකුත් දා පාර්ලිමේන්තුවේ ඇති වූ මත ගැටුම පක්ෂ දෙක අතර පවතින දේශපාලන විරසකයේ උච්චතම අවස්ථාවක් ලෙසට දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.