ශ්‍රීලංකන් ගුවන් සේවය තෙල් රටකට ? ණය පොදිය කෝටි තිස්එක් දහස් පන්සියය පනී


සුජිත් හේවාජුලිගේ

ශ්‍රීලංකන් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා මැදපෙරදිග රටකට ලබාදීම කෙරෙහි රජයේ ඉහළ අංශවල අවධානය යොමු වී ඇත.   


ශ්‍රීලංකන් ගුවන් සේවය ඉන්ධන වැඩි වශයෙන් අවශ්‍ය කෙරෙන ආයතනයක් වන හෙයින් තෙල් පවතින රටකට ලබා දුනහොත් ඉතා පහසුවෙන් පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙන නිසා ඒ ගැන මෙසේ වැඩි අවධානය යොමුවී ඇති බව රජයේ ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.

ශ්‍රීලංකන් එයාර් ලයින් ආයතනය පවත්වාගෙන යන්නේ රුපියල් කෝටි තිස් එක්දහස් පන්සියයක ණය කන්දරාවක් යටතේ හෙයින් මේ ආයතනය මේ රටේ ජනතාවට තවදුරටත් බරක් නොවනු පිණිස ප්‍රතිව්‍යුහගත කිරීම මේ වසරේදී අවසන් කළ යුතුව ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසීය.  


ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති විවිධ විකල්ප හා ගැටලු පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් තමාට සති දෙකක් ඇතුළත ලබාදෙන ලෙස ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දී ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.  


මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළේදී කිසිදු සේවකයකු බලෙන් ඉවත් කිරීමට ඉඩ ​නොදෙන බව පැවසූ නිමල් සිරිපාල ද සිල්වා මහතා ඔවුන්ට ගෞරවනීය ස්වර්ණමය වන්දි ප්‍රතිලාභයක් (Golden Shakehand) ලැබෙන පරිදි ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම යෝජනා කරන ලෙස ශ්‍රීලංකන් පාලනාධිකාරියට දැනුම් දුන් බවද ප්‍රකාශ කළේය.