ශ්‍රීලංකන් ගන්න කවුරුවත් නෑ


 

  • විකුණනන්න අලුත් සැලැස්මක්
  • විශ්‍රාම සැලසුම අනුව අත්‍යවශ්‍යම සේවකයන් විශ්‍රාම ගිහින්
  • අනවශ්‍ය පිරිස තවමත් ඇතුළේ

අජන්ත කුමාර අගලකඩ

දැඩි ණය බරකට මුහුණ දී ඇති ශ්‍රීලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීමට රජය සැලසුම් කර ඇතත්  මේ දක්වා කිසිදු ආයෝජකයකු ඉදිරිපත් වී නැතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


එබැවින් ශ්‍රීලංකන් ගුවන් සමාගම පෞද්ගලීකරණය කිරීම සඳහා මුදල් අමාත්‍යංශය ලෝක බැංකුවේ ද සහාය ඇතිව නව සැලැස්මක් සකස් කරමින් සිටින බවද එම ආරංචි මාර්ග කියයි.


ශ්‍රීලංකන් ගුවන් සමාගම රාජ්‍ය බැංකුවලට, ඛනිජ තෙල් සංස්ථාවට හා වෙනත් ආයතනවලට ගෙවීමට ඇති ණය ප්‍රමාණය  ඇමෙරිකානු ඩොලර් කෝටි සියයක් (රුපියල් කෝටි 31,657ක්) පමණ වන බව පැවසේ. 

ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් කෝටි තිහක් පමණ වන බව දැනගන්නට ඇත.


ශ්‍රීලංකන් ගුවන් සමාගමේ 5,600 ක පමණ ස්ථිර කාර්ය මණ්ඩලයක් ඇති අතර, කොන්ත්‍රාත් හා අනියම් සේවකයින් පන්සියයක් පමණ සිටින බව වාර්තා වේ.
පොදුවේ ගත් කල  ආයතනය තුළ සේවක අතිරික්තයක් නොමැති නමුත්, ඇතැම් අංශවල දැඩි සේවක අතිරික්තයක් තිබෙන බව දැනගන්නට ඇත.  ආයතනය තුළ කළමනාකරුවන් 300ක් පමණ සිටිය යුතු නමුත්, කළමනාකරුවන් හයසීයක් පමණ සිටින බවද වාර්තා වේ.


එහෙත් අත්‍යවශ්‍ය සේවාවල හිඟයක් පවතින බව එහි සේවකයෝ පවසති. සමාගම සතුව ගුවන් නියමුවන් 290 දෙනකු සිටිය යුතු වුවත්, දැනට සිටින්නේ 268 දෙනකු පමණක් බව දැනගන්නට ඇත. පසුගිය අවුරුදු තුන තුළ නියමුවන් පනස් දෙදෙනකු ඉවත්ව ඇත.


ගුවන් සමාගම සතුව ගුවන් යානා 24 ක් තිබෙන අතර එම සියලු‍ම යානා කල් බදු පදනම යටතේ ලබා ගත් ඒවා වේ. යානා  හයක් පමණ අමතර කොටස් සහ එන්ජින් නොමැතිව සේවයෙන් අයින් කර ඇති අතර,පාවිච්චි කරන යානා ගණන 18 කි.


කල් බදු පදනම යටතේ ලබා ගන්නා යානයක් සඳහා දළ වශයෙන් මාසයකට  ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 7ක්  පමණ ගෙවීමට සිදුව ඇත. අවුරුදු  විසිතුනක් තිස්සේ පාවිච්චි කරන ලද යානා දෙකක් පසුගියදා නැවත භාර දෙනු ලැබූ අතර, එම එක් යානාවක් සඳහා මාසිකව ගෙවා ඇති මුදල අමෙරිකානු ඩොලර්  පන්ලක්ෂ  අසූපන් දහසක් පමණ වේ.
ඉකුත් කොරෝනා සමයේ ගුවන් සමාගමේ සේවකයන් අඩු කිරීමට  ස්වෙච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් හදුන්වාදෙනු ලැබුවද විශ්‍රාම ගොස් ඇත්තේ අත්‍යවශ්‍යම සේවකයින් පිරිසක් පමණක් බවත්, ඉවත් කළ යුතු සේවකයින් ඉවත් වී නොමැති බවත් දැනගන්නට ඇත.