ශ්‍රීලංකන් අංශ දෙකක් විදේශ ආයෝජකයන්ට


නිමන්ති රණසිංහ   

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ පාලිත සමාගමක් වන ශ්‍රී ලංකන් කේටරින් අංශයේත් භූමි සේවා සැපයුම් අංශයේත් (Ground Handling) කොටස් අයිතියෙන් සියයට 49ක් විදේශීය ආයෝජකයකුට ලබාදී ඉන් ලබා ගන්නා මුදලින් ආයතනයේ ණය පියවා ගැනීමට බලාපොරොත්තු ෙවන බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. 

භූමි සේවා සැපයුම් අංශය වෙනම සමාගමක් ලෙස ස්ථාපනය කර එහි කොටසක් මෙලෙස විදේශීය ආයෝජකයෙකුට ලබා දීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය. මෙරට යානාවලට යම් රටකට ගොඩබැසීමට ඇති අයිතිය දී ඇත්තේ ශ්‍රී ලංකාවට හෙයින් ශ්‍රී ලන්කන් සමාගමේ අයිතිය සියයට 50ක් පිට අයෙකුට දුනහොත් ඒ අයිතිය අහිමි වන බවත් ඒ බාධකය හේතුවෙන් පිට ආයෝජකයෙකුට මේ මොහොතේදී දිය හැක්කේ කොටස්වලින් සියයට 49ක් පමණක් බවත් අමාත්‍යවරයා කීවේය.   


කෙසේ වෙතත් ලංකාවේ ආයෝජකයකු ඉදිරිපත් වුවහොත් සියයට 50 කට වැඩි කොටස් ප්‍රමාණයක් ලබා දිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.   


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පැවසුවේ මේ අවස්ථාවේදී ආයතනය ගොඩගැනීම සඳහා ගත හැකි හොඳම පියවර මෙය බවයි. මේ අංශ දෙකම දැනට ලාභ ලබන ඒවා බව පැවසූ පතිරගේ මහතා කේටරින් සමාගමේ කොටස් විකුණා කොටසකට ඇමරිකන් ඩොලර් සීයක් දෙසීයක් ලබාගත හැකි බවද පෙන්වා දුන්නේය.