වී ගොවීන්ට වන්දි දෙන්න සතයක්වත් වෙන් කර නෑ


ගිය කන්නයේ පොහොර පොරොන්දුව සුළඟේ ගිහින්

දයාසීලී ලියනගේ

රසායනික පොහොර තහනම් කිරීම නිසා ගිය මහ කන්නයේ වී වගාවට සිදුවූ හානියට වන්දි ගෙවන බව බලධාරීන් ප්‍රකාශ කළත් ඒ සඳහා එක සතයක් හෝ වෙන්කර නොතිබුණු බවත් මුදල් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක්වත් ඉදිරිපත් කර නොතිබුණු බවත් වාර්තාවේ.

හිටපු ඇමැතිවරයා වගා වන්දි ගෙවන බවට පොරොන්දු වූ නිසා ඒ මුදල් ගෙවන ලෙසට ගොවි සංගම්, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේම ඇමැතිවරයා ඒ පිළිබඳව කළ සොයා බැලීමේදී ගොවීන්ට වන්දි ගෙවීමට එක සතයක්වත් වෙන්කර නොතිබුණු බව අනාවරණය වූයේ යැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.   


ගොවීන්ට වන්දි ගෙවීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව හිටපු ඇමැතිවරුන් ප්‍රකාශ කළත් ඒ සඳහා මුදල් වෙන්කර නොතිබූ බව මෙම සාකච්ඡාවේදී ඇමැතිවරයා පෙන්වා දුන් බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.