වියදම් නියාමන පනතෙන් පුංචි චන්දය නවතියි ?


අජන්ත කුමාර අගලකඩ

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවනු ලැබූවද, මැතිවරණය පැවැත්වීමට අලු‍තින් සම්මත කරන ලද මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත හරස් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.


මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත බ්‍රහස්පතින්දා (19) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර, කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුදිනම ඊට අත්සන් කිරීමත් සමග එය රටේ පොදු නීතියක් බවට පත් විය.

ඒ අනුව, එම පනත පදනම් කරගනිමින්, මැතිවරණය කල් දමන්නැයි ඉල්ලා යම් පිරිසක් මේ සතියේ අධිකරණ ක්‍රියා මාර්ගයකට යොමු වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පළාත් පාලන මැතිවරණය සඳහා ඇප තැන්පතු බාර ගැනීම 19 වැනිදා දහවල් 12න් අවසන් වූ අතර, ඉකුත් 19 වැනිදා ආරම්භ වූ නාම යෝජනා බාර ගැනීම ඊයේ (21) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණි. ඒ සමගම මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබිණි.   
ඇප මුදල් භාර ගැනීම අත්හිටුවන්නැයි දන්වා රාජ්‍ය පරිපාලන ලේකම්වරයා විසින් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත විශේෂ චක්‍රලේඛයක් ද ඉකුත් දා නිකුත් කරනු ලැබීය. දේශපාලන පක්ෂවලින් සහ විවිධ පාර්ශව වලින් එල්ල වූ විරෝධය හමුවේ එම චක්‍රලේඛය පැය කීපයක් තුළ රාජ්‍ය පරිපාලනය ලේකම්වරයා විසින්ම ඉවත් කරගනු ලැබීය.   
මේ අතර, ආර්ථිකය බංකොලොත් වී ඇති බැවින්, පළාත් පාලන මැතිවරණයට මුදල් ලබා දිය නොහැකි බව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉකුත් බ්‍රහස්පතින්දා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි. මේ තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.