විපක්ෂයෙන් පැමිණිලි සීයක් අල්ලස් කොමිසම මැති ඇමැතිලාගේ ෆයිල් අවුස්සයි


සුජිත් හේවාජුලිගේ

සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල තොරතුරු හෙළිදරව් කෙරුණු  ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ආන්දෝලනයට තුඩු දුන් වත්කම් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරි දිනවල පුළුල් විමර්ශන ආරම්භ කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියකු පැවසුවේ පනතට අදාළව ලැබෙන සෑම පැමිණිල්ලක්ම විමර්ශන කරන බවයි.

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් සොයා බලන්නැයි ඉල්ලමින් ඉදිරි දිනවල අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි සියයකට අධික සංඛ්‍යාවක් කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ තීරණය කර ඇත.

මේ අතර ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන්  ලබන සතියේ පාර්ලිමේන්තුවේදී දීර්ඝව ප්‍රශ්න කිරීමට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ බලාපොරොත්තු වෙයි.

මෙම ප්‍රශ්න කිරීම් හේතුවෙන් මැතිසබය උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර පැවසුවේ ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ වත්කම් සහ ඔවුන්ගේ දේපළ සහ ඔවුන් සිය දේපළ සම්බන්ධයෙන් මුලින් කර ඇති විවිධ ප්‍රකාශ අතර බරපතළ සැක සහිත වෙනස්කම් පවතින බවයි.

මේ අතර සමහර මැති ඇමැතිවරුන් සහ රජයේ සේවකයන් වත්කම් බැරකම් ප්‍රකාශ පැරණි සැකැස්මට පුරවා ඉදිරිපත් කිරීමෙන් කොමිසම ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බව වාර්තාවේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක, වෙ​ෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු ආණ්ඩුවේ දේශපාලනඥයන්ගේ වත්කම් සහ දේපළ   තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉල්ලුම්පත් විශාල වශයෙන් ගලා එමින් තිබෙන බව වාර්තා වේ.

මෙසේ තොරතුරු ඉල්ලා ඇති පිරිස අතර දේශපාලන පක්ෂවල නියෝජිතයෝ සහ මන්ත්‍රීවරු පිරිසක්ද ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද වෙති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් ප්‍රේමසිරි මානගේ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණේ වත්කම් බැරකම් ප්‍රකාශ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අයැදුම්පත්‍රයක් යොමු කළ බවයි.

එසේම ජනතා විමුක්ති පෙරමුණේ වත්කම් බැරකම් ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවට ද තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම්පත් ගණනාවක් ලැබී ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ ඒ ඒ පක්ෂවල නියෝජිතයන් ලබා දෙන වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට යොමු කරන බවයි.

ඒ තොරතුරු ලබාගත යුත්තේ එම කොමිෂන් සභාවෙන් බවත් ඒවා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාවට බලයක් නැති බවත් ඔහු කීවේය.