විදුලිය බිලත් වැඩි කරන්න සූදානමක්


අජන්ත කුමාර අගලකඩ

විදුලියබල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තු නැවත වරක් වහාම ඉහළ දැමිය යුතුව ඇතැයි  විදුලියබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා  කොමිෂන් සභාවට දැනුම් දී ඇත.


විදුලියබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉකුත් විසි එක්වැනිදා  ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ, විදුලිය ගාස්තු වැඩිවීමක් ලබා නොදුනහොත් මේ වසරේ ඉදිරි මාස කිහිපය  තුළ වියදම් පියවා ගැනීමට නොහැකි වෙන බව ය.

විදුලිය ගාස්තු වැඩි කිරීමට විදුලියබල මණ්ඩලය ඉදිරිපත් කළ, ගාස්තු අඩු කර මහජන උපයෝගිතා කොමිෂන්  සභාව අනුමත කළ ගාස්තු අනුව අයකිරීම හේතුවෙන් විදුලියබල මණ්ඩලයේ මේ වසරේ ආදායම රුපියල් කෝටි 3,300කින් පමණ අඩු වී ඇතැයි සාමාන්‍යාධිකාරීවරයා සිය ලිපිය මගින්  දැනුම් දී ඇත.
ඒ හේතුවෙන්, පුනර්ජනනීය විදුලි උත්පාදනය වෙනුවෙන් මෙන්ම, අනෙකුත් ණය හිමියෝ සඳහා විදුලි බිල මණ්ඩලය  ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇතැයි ද එම ලිපියෙන් දන්වා ඇත.


පුනර්ජනනීය විදුලිය උත්පාදනය වෙනුවෙන් ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් කෝටි දෙදහස්  නවසිය හැත්තෑවක් පමණ වෙන  බවද එහි සඳහන් කර ඇත.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමත වූ ගාස්තුව, විදුලිය නිපදවීමට යන වියදම පාරිභෝගිකයන්ගෙන් අයකරගැනීමේ තීරණයට ද පිටින් යන බව විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත.


මේ වසරේ විදුලිය  ගාස්තු වැඩී කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේ ගිගාවොට්  4,500 ක ජල විදුලිය ලබාගැනීමට අපේක්ෂා කළ ද, වියළි කාලගුණය හේතුවෙන් ලබාගත හැකිවූයේ ගිගාවොට් 1,738 ක් පමණක් බව ද එහි සඳහන් කර ඇත. ඉදිරියේ දී ඇතිවිය හැකි නියං තත්ත්වය හමුවේ තාප විදුලිය නිෂ්පාදනය වැඩි විය හැකි බවත්, එවැනි තත්වයක් තුළ මණ්ඩලයේ  වියදම්  පියවා ගැනීම බරපතළ ගැටලු‍වක් බවත් විදුලිය බලමණ්ඩලය පෙන්වාදෙයි.


ඉදිරි නියං තත්ත්වය හමුවේ තාප බලාගාරවලින් ඉල්ලු‍ම සැපයීමට සිදු වෙන අතර,ඒ සඳහා රුපියල් කෝටි 2,000 ක පමණ අමතර වියදමක් දැරීමට සිදුවෙනු ඇතැයිද විදුලි බල මණ්ඩලය  දන්වා ඇත.


මේ වසරේ ඉදිරි මාස කිහිපයේ වියදම් පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තු වැඩි කිරීමක් වහා ලබා දිය යුතුව ඇතැයි ද සාමාන්‍යාධිකාරී වරයා පෙන්වා දී ඇත.
විදුලියබල මණ්ඩලය ඉකුත් පෙබරවාරි මස පහළොස් වැනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි විදුලි ගාස්තු සියයට 66කින් පමණ  ඉහළ දැමූ අතර, ජුනි මස 01 වැනිදා සිට විදුලිය ගාස්තු සියයට 3කින් පමණ අඩු කළේය.