විදුලිබිල ඉහළ යාමෙන් සුළු හා මාධ්‍ය පරිමාණ කර්මාන්තයට දැඩි බලපෑම්


රයිස් - කොත්තු මිලත් වැඩිවෙයි

දයාසීලි ලියනගේ 

විදුලි බිල සියයට 66කින් ඉහළ දැමීමට ගත් තීරණය නිසා, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට හා එම කර්මාන්තකරුවන්ට දැඩි ලෙස බලපෑම් සිදුවී තිබෙන බව වාර්තා වේ. 
පවතින තත්ත්වය නිසා සිය නිෂ්පාදන අත්හිටුවීමට හා නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවී ඇති බව ඔවුහු ප්‍රකාශ කරති.
 
විදුලි බිල වැඩි කිරීම නිසා තම නිෂ්පාදනවල මිල සියයට 15ත් 20ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති හිරුක්ෂ කුමාර මහතා කීය. 

ඒ අනුව නිමි ඇඳුම්, කිරි ආශ්‍රිත නිෂ්පාදන, ප්ලාස්ටික්, ඇලුමිනියම්, ලන්ච් ෂීට්, සනීපාරක්ෂක උපකරණ, පිරිසිදු කිරීමේ උපකරණ, තුනපහ කුඩු ශීතකරණවල බහා තබන, මස්, මාළු ඇතුළු සියලු නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වූ බව නිරුක්ෂ කුමාර මහතා කීය. මෙම කර්මාන්තවල සෘජු හා වක්‍ර සේවක සංඛ්‍යාව ලක්ෂ 10කට ආසන්නය. 
මීට අමතරව පසුගිය 16 වැනිදා සිට කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, බත් යන ආහාර තුනෙහි මිල සියයට 10 කින් ඉහළ දැමූ බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කීය. 

විදුලිය පාවිච්චි කර ආහාර නිෂ්පාදනය කිරීම බහුතරයක් ආපන ශාලාවල සිදුවන නිසා මෙලෙස මිල වැඩි කිරීමට හේතු වූ බව ද අනෙකුත් ආහාරපාන මිල වැඩි කිරීම පිළිබඳවද තීරණයක් ගැනීමට සිදුවන තත්ත්වයක් පවතින බවද අසේල සම්පත් මහතා ප්‍රකාශ කළේය. 

විදුලි බිල වැඩිවීම නිසා නිෂ්පාදනවලට ඇතිවී තිබෙන බලපෑම ගැන බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. ජයවර්ධන මහතාගෙන් කළ විමසීමේ දී ප්‍රකාශ කළේ දැනටත් බේකරි නිෂ්පාදනවල අලෙවිය බොහෝ සෙයින් අඩුවී ඇති නිසා තවත් මිල වැඩිවීමක් සිදු කළහොත් නිෂ්පාදන අලෙවි කිරීමට නොහැකි වන බවයි. මේ තත්ත්වය නිසා මෙවර බේකරි නිෂ්පාදනවල මිල වැඩිවීමක් නොකරන බව ද ඔහු කීය. 

බේකරි කර්මාන්තය වසා දැමීමට ඉතා ආසන්න තත්ත්වයක පවතින අතර දැනටත් පාඩු පිට පවත්වා ගෙන යන බවද ඒ මහතා වැඩිදුරටත් කීය.