විදුලිබල මණ්ඩලය අටට කඩයි


සාමාන්‍යාධිකාරි වෙනුවට නිසි බලධාරියෙක්  

විදුලිය ජනනයට සම්ප්‍රේෂණයට බෙදාහැරීමට සමාගම් අටක්

 

අජන්ත කුමාර අගලකඩ

ප්‍රතිව්‍යූහගතකරණය යටතේ ලංකා විදුලිබල මණ්ඩලය අහෝසිකර රජය සතු නව සමාගම් අටක් පිහිටුවීමට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද කමිටුව රජයට නිර්දේශ කර ඇත. 

ඒ සඳහා 2002 අංක 6 දරන විදුලිබල පනත අහෝසි කරන නව පනත් කෙටුම්පතක් විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 


විදුලිබල මණ්ඩලය වෙනුවට නව සමාගම් අටක් පිහිටුවීමට අදාළව ඉදිරිපත් කරන ලද කමිටු වාර්තාව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා විසින් ඉකුත් සතියේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන ලද අතර ඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද මේ වන විට ලැබී ඇත. 


පිහිටුවනු ලබන නව සමාගම් 8 යටතේ විදුලිය ජනනය සඳහා සමාගම් දෙකක් ද සම්ප්‍රේෂණය සඳහා සමාගම් දෙකක් සහ බෙදාහැරීම සඳහා සමාගම් හතරක් වශයෙන් පිහිටුවීමට යෝජනා වී ඇත. 


විදුලිය ජනනය සඳහා පිහිටුවනු ලබන සමාගම් දෙකෙන් එකක් ජල හා පුනර්ජනනීය බලශක්තිය සඳහා ද අනෙක් සමාගම ඉන්ධන බලාගාර සඳහා ද පිහිටුවීමට යෝජනා වී ඇතැයි දැනගන්නට තිබේ. 


එම සමාගම් රජයට බරක් නොවී ව්‍යාපාරික ආයතන ලෙස පවත්වාගෙන යාමට ද යෝජනා වී ඇත. 


විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි තනතුර වෙනුවට මෙම සමාගම් අට සඳහා නිසි බලධරයකු පත් කිරීමට ද යෝජනා වී ඇතැයි වාර්තා වේ. 
ඉන්ධන, විදුලිය සහ ජලය සඳහා පිහිටුවා ඇති මහජන උපයෝගිතා කොමිසම වෙනුවට, විදුලිය සඳහා වෙනම මහජන උපයෝගිතා කොමිසමක් පත්කිරීම සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු වී ඇතැයි දැනගන්නට තිබේ. 


මේ අතර, විදුලි බිල සියයට 70 කින් වැඩි කිරීමට යෝජනා වී ඇති අතර ඉන් සියයට තිහක් ජනවාරි මාසයේ දී ද ඉතිරි සියයට 40 ජූනි මාසයේ දී ද වැඩි කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ.