විදුලි බිල වැඩි කළොත් ව්‍යාපාර විසිදාහක් වැසෙයි ?


සහනයක් ඕනෑ

ආයතන හිමිකරුවෝ ඉල්ලති

සුජිත් හේවාජුලිගේ

විදුලිය බිල ලබන මාසයේදී සියයට 70කින් වැඩිවීමත් සමග විවිධ කර්මාන්ත ශාලා, හෝටල්, ආපනශාලා ඇතුළු ව්‍යාපාරික ස්ථාන තවත් විසි දහසක් පමණ වැසී යෑමේ බරපතළ අවදානමක් පවතින බව ඒ ස්ථාන හිමිකරුවෝ පැවසූහ. 

විදුලිය බිල වැඩිවීමත් සමග නිෂ්පාදන පිරිවැය ඉහළ ගොස් භාණ්ඩ අලෙවිය අඩුවීම හේතුවෙන් ව්‍යාපාර ස්ථාන පවත්වාගෙන යෑමේ බරපතළ ගැටලුකාරී තත්ත්වයක් මතුවන බව ද ඔවුහු පෙන්වා දෙති. 


මේ සම්බන්ධයෙන් අප සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ, විදුලි බිල සියයට 70කින් වැඩි කිරීමත් සමග ​හෝටල් සහ ආපනශාලා තවදුරටත් වැසී යෑමේ බරපතළ අවදානමක් පවතින බවයි. 


එසේම විදුලිය බිල ඉහළ යෑමත් සමග තේ කහට කෝප්පයේ සිට සියලුම ආහාරවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව පැවසූ සභාපතිවරයා, හෝටල් සහ ආපන ශාලාවල ආහාර ශීතකරණවල ගබඩා කිරීමටද විදුලි බිල ඉහළ යෑමෙන් ලොකු ගැටලුකාරී තත්ත්වයක් මතු වන බව පෙන්වා දුන්නේය. 


කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් හෝටල් සහ ආපනශාලා පහළොස් දහසක් පමණ මුල් කාලයේ වැසී ගිය බවද අසේල සම්පත් මහතා කීවේය. මේ සම්බන්ධයෙන් අප තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ, විදුලි බිල වැඩි කිරීම තේ කර්මාන්තයටද තදින්ම දැනෙනු ඇති බවයි. කොවිඩ් අර්බුදය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ කර්මාන්ත ශාලා සහ නිෂ්පාදන ආයතන තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් පසුගිය කාලයේදී මුළුමනින්ම වැසී ගියේය. 
මේ තත්ත්වය සැලකිල්ලට ගෙන කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාර ස්ථානවල විදුලි බිලට යම් සහනයක් ලබා දෙන්නැයි ඒ ව්‍යාපාර ස්ථාන හිමිකරුවෝ රජයෙන් ඉල්ලීමක් කරති.