විදුලි බිල මාස 14 කදී සියයට 400 කින් වැඩි කරලා


ගුණසිංහ හේරත්

අඩු ආදායම් ලාභීන්ගේ විදුලි බිල පසුගිය මාස 14 ඇතුළත සියයට 400කට ආසන්න ප්‍රමාණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි බලශක්ති විශේෂඥයෝ කියති.

විදුලි ඒකක 60ට අඩුවෙන් පාවිච්චි කරන නිවාස අඩු ආදායම්ලාභීන් ලෙස හඳුන්වන බව කියන ඒ විශේෂඥයෝ ඒ දුප්පතුන්ගේ විදුලි බිල 2022 අගෝස්තු 10 වැනිදා සිට ක්‍රියාත්මක ගාස්තු වැඩි කිරීමේ දී සියයට 200ක වැඩි ආගයකින් ඉහළ දැමූ බවද හෙළි කරති.


2022 අගෝස්තු 10 වැනිදා සිට ක්‍රියාත්මක ගාස්තු වැඩි කිරීමේ දී විදුලි ඒකක බින්දුවේ සිට 30 දක්වා පාවිච්චි කරන අයගේ විදුලි බිල සියයට 261.11කින් ද ඒකක 60 දක්වා අයගේ මිල සියයට 228.21කින් ද ඒකක 90 දක්වා අයගේ බිල සියයට 146.11කින් ද ඉහළ දැමූ බව ඒ බලශක්ති විශේෂඥයෝ හෙළිකරති.


ගාස්තු එසේ වැඩිකර තිබිය දී විදුලි බල මණ්ඩලය සහ මහජන උපයෝගීතා කොමිසම රටට ප්‍රකාශ කළේ 2022 අගෝස්තු 10 වැනිදා සිට විදුලි ගාස්තු වැඩි කළේ සියයට 77 කින් බවය. එසේම යළි 2023 පෙබරවාරි 15 වැනිදා සියයට 66.2කින් විදුලි ගාස්තු වැඩි කළ බව කී අතර මේ 2023 ඔක්තෝබර් 20 වැනිදා සිට ගාස්තු වැඩි කළ බව කියන්නේ සියයට 18කිනි. ඒ අතර 2023 ජුනි 30 වැනිදා සිට විදුලි ගාස්තු සියයට 14කින් අඩු කළ බව කීවේය.


ගාස්තු වැඩි කිරීමේ සාමාන්‍ය (Avarage) එසේ වූවාට පරිභෝජනය කරන විදුලි ඒකක ප්‍රමාණය මත විදුලි බිලේ වැඩිවීම වෙනස් වන බැවින් අඩු ආදායම්ලාභීන්ට විදුලි බිල වැඩිවීමෙන් වැඩි බරක් පැටවෙන බව ද බලශක්ති විශේෂඥයෝ පෙන්වා දෙති.