වැඩිහිටියන් දෙලක්ෂ අසූදාහකට තවමත් එන්නත නෑ


ප්‍රමුඛතා ඉල්ලීම නොසලකා හැරලා

 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි

(දයාසීලි ලියනගේ)

කොවිඩ් මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට එන්නත් ලබා දීමේදී වයස අවුරුදු 60ට වැඩි අයට ප්‍රමුඛතාව ලබාදිය යුතු බවට කරන ලද දැනුම්දීම නොසලකා හරිමින් හිතුවක්කාරී ලෙස හා තෝරාගත් ප්‍රදේශවලට එන්නත් ලබාදීම නිසා තවමත් වයස අවුරුදු 60ට වැඩි 283874කට එන්නත් ලබාදීමට නොහැකි වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.   

ඒ අනුව කොළඹ 2800 ක්, ගම්පහ 11864 ක්, කළුතර 25421ක්, මහනුවර 60955 ක්, නුවරඑළිය 10414 ක්, හම්බන්තොට 2500 ක්, මාතර 9000 ක්, යාපනය 29000 ක්, කිලිනොච්චිය 5717 ක්, මන්නාරම 1250ක්, වව්නියාව 8082ක්, මුලතිව් 845ක්, පුත්තලම 34000ක්, අනුරාධපුරය 3500ක්, පොළොන්නරුව 500 ක්, බදුල්ල 8000 ක්, රත්නපුර 3000 ක්, කෑගල්ල 6000 ක්, කල්මුණේ 4141 ක්, කොළඹ නගරයෙන් 11600 ක් ඇතුළුව අවුරුදු 60ට වැඩි 283874 ට ඉකුත් සතිය වන විටත් එන්නත් ලබාදී නොතිබුණු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය. 


විශේෂයෙන් ‘‘ෆයිසර්’’ එන්නත සෞඛ්‍ය අංශවල හා ප්‍රමුඛතාවය ඇති පිරිස්වලට තුන්වැනි මාත්‍රාව ලෙසට ලබාදිය යුතු බව පෙන්වා දී ඇතත් රජය තෝරාගත් ප්‍රදේශවල වයස අවුරුදු විස්සත් තිහත් අතර පිරිස්වලට එම එන්නත ලබාදෙන බවද වෛද්‍ය සොයිසා මහතා කීය. 


මේ වනවිට කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 19.5ක් ගෙනැවිත් ඇති අතර එම එන්නත් ලබාදීමේ නිවැරදි ප්‍රමුඛතා ලැයිස්තුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇතැයි ද ඔහු කීය. එම පිළිවෙලට එන්නත් ලබා දුන්නානම් ආසන්න වශයෙන් 20% ක ජනගහනයක් එන්නත්කරණයට ලක් කිරීම තුළින් 90% ක මරණ වළක්වා ගැනීමට හැකි වනු ඇතැයි ද වෛද්‍ය සොයිසා මහතා කීය. 


අදටත් 75% ක් මරණ වාර්තා වනුයේ වයස අවුරුදු 60ට වැඩි කාණ්ඩයෙනි. නිවැරදි ක්‍රමවේදයට එන්නත්කරණය සිදුව 45% ක ජනගහනයක් සම්පූර්ණ ප්‍රතිශක්තිකරණය ළඟා කරගෙන තිබුණේ නම් අද වනවිට වයස අවුරුදු 60 වැඩි කාණ්ඩයේ සිදුවන මරණ පමණක් නොව අති බහුතරයක් මරණ වළක්වා ගැනීමට හැකිව තිබූ බවද වෛද්‍ය සොයිසා මහතා වැඩිදුරටත් කීය.