වසර තුනකට විදුලිය පිටින් ගත්තොත් වියදම රුපියල් බිලියන 95යි


(දයාසීලි ලියනගේ)   

විදුලිය අර්බුදයට විසඳුමක් වශයෙන් වසර තුනක කාලයක් සඳහා පිටස්තරයන්ගෙන් හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 95ක (කෝටි 9500) වියදමක් දැරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යාංශය ගණන් බලා ඇතැයි වාර්තා වේ.   


විදුලිය අවශ්‍යතාවට සරිලන පරිදි සැපයීමට නොහැකිවීමෙන් විදුලිය කප්පාදු කිරීම වැළැක්වීම සඳහා අධික මිලකට පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමට අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය.

මේ අතර පසුගිය 27 වැනිදා සිට පෙබවාරි 4 වැනිදා දක්වා කාලයට විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය කරන ලද ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසම මගින් ප්‍රතික්ෂේප කිරීම නිසා රුපියල් බිලියන 32 ක ආර්ථික හානියක් වළක්වා ගැනීමට හැකිවී ඇති බවද ගණන් බලා ඇත. 

 
මේ වන විට විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 22,000ක් ඉක්මවා ඇති බවද සඳහන් වේ.   
මේ අතර හදිසි විදුලිය මිලදී ගැනීමේදී දරන්නට සිදුවන අතිරේක වැය බර පිළිබඳ වගකීම, මීට පෙර බලාගාර 3ක් ඉදිකිරීම ප්‍රමාද කළ මණ්ඩලයේ නිලධාරී සතුවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එච්.එම්.සී. ෆඩිනැන්ඩු මහතා විසින් වැඩබලන සාමාන්‍යාධිකාරී ආචාර්ය ඩී.සී.ආර්. අබේසේකර මහතා වෙත ලිඛිතව දන්වා ඇත.​   


මෙගා​වොට් 150ක ධාරිතාවයෙන් යුතු ගෑස් බලාගාරය මෙ.වො. 300ක ධාරිතාවයෙන් යුතු කෙරවලපිටිය එල්.එන්.ජී. බලාගාරය, මෙ.වො. 300ක් ධාරිතාවය ඇති නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය තිබුණා නම් මෙ.වො. 750ක ධාරිතාවක් ලබා ගැනීමට හැකි වන අතර එම ධාරිතාව නොමැති වීම නිසා අධික මුදලක් වැය කර හදිසි විදුලිය මිලදී ගැනීමට සිදුවී ඇති බව ලේකම්වරයා සිය ලිපියේ සඳහන් කර ඇත.