යොහාන් භාසුර
විපක්ෂය සහ ඇතැම් බලශක්ති විශේෂඥයන් මෙරටට ගෙන්වූ ගල් අඟුරුවල ප්‍රමිතිය පිළිබඳ කොතරම් චෝදනා නැගුවද තෝරාගෙන ඇති ටෙන්ඩරය අනුව ගල් අඟුරු ගෙන්වීම ඉදිරියට ද සිදුවන බව ලංකා ගල් අඟුරු සමාගම් ආරංචි මාර්ග තහවුරු කරයි.
මේ සම්බන්ධයෙන් ඉරිදා ලංකාදීප කළ විමසුමකදී ලංකා ගල්අඟුරු සමාගමේ උසස් නිලධාරියෙක් සඳහන් කළේ පෙබරවාරි මාසය තුළදී ගල්අඟුරු නැව් 06කට වැඩි සංඛ්‍යාවක් පැමිණීමට නියමිත බවත් ප්‍රදානය කර ඇති ටෙන්ඩරය අනුව ගල්අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 15 ක් මෙරටට ඉදිරියේ දී ලැබෙනු ඇති බවත්ය. රට තුළ ගල්අඟුරු හිඟයක් ඇති වීමට කිසිදු ඉඩක් නොතබන බවත් අදාළ නැව් 25ම නියමිත කාලය තුළදී ගෙන්වා ගන්නා බවත් ඔහු සඳහන් කළේය. මේ වනවිට ගල්අඟුරු නැව් 5ක් රටට පැමිණ ඇති බවත් හයවැනි ගල්අඟුරු නැව අද හෙටම මෙරටට ළඟා වෙනු ඇති බව කී එම උසස් නිලධාරියා තෙවැනි සහ සිව්වැනි නැව්වල ගල්අඟුරු ගොඩබෑම අවසන් අදියරේ පවතින බව ද සඳහන් කළේය.
ආනයනය කළ පළමු නැවේ ගල්අඟුරු නැවේ ගොඩබෑමේ වාර්තාව ප්‍රතික්ෂේප කරන මට්ටමේ නොමැති වුවත් එහි සාම්පල ඉන්දියාවේ පරික්ෂණයක් සඳහා යොමු කළ අතර එහි අපගමනයක් තිබූ බව ඔහු කීය. මේ නිසා පළමු ගල් අඟුරු නැවේ ගල් අඟරු තොගය ප්‍රතික්ෂේප වූ බවත් ඒ හේතුවෙන් එම නැව වෙනුවෙන් ඩොලර් මිලියන 2.1 ක දඩ මුදලක් අයකළ බවත් ඔහු සඳහන් කළේය.
ගල්අඟුරු සම්බන්ධයෙන් විවිධ අදහස් සමාජගත වී තිබුණ ද ඒවා ගෙන්වීමේදී කිසිදු පාඩුවක් රටට සිදුවී නොමැති බව ද එම නිලධාරියා කීය.
කෙසේ වුවද පසුගිය සතිය පුරාම මේ සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් කෙරුණි. වර්තමාන ආණ්ඩුව යටතේ ආනයනය කළ පළමු ගල්අඟුරු නැවෙන් පමණක් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් මිලියන 1,400 ක් හෙවත් රුපියල් කෝටි 140ක පමණ සෘජු මූල්‍ය පාඩුවක් වී ඇති බවත් එම පාඩුව ආණ්ඩුව ඒ සඳහා පනවා ඇති ඩොලර් මිලියන 2 ක් හෙවත් රුපියල් මිලියන 620 මෙන් දෙගුණයකටත් වඩා වැඩි බවත් හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු වන පාඨලී චම්පික රණවක පසුගිය 26 දා පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
මේ අතර තුන්වැනි නැවෙන් ගොඩබෑ ගල් අඟුරු තොගයෙන් කොටසක් පසුගිය 21 වැනිදා විදුලි නිෂ්පාදනය සඳහා යොදාගෙන ඇති අතර එහිදී මෙගාවොට් 300 වෙනුවට මෙගාවොට් 240 ක පමණ විදුලියක් ලැබී ඇති බවත් එසේ විදුලි ප්‍රමාණය අඩුවීමට හේතුව ගල්අඟුරුවල ප්‍රමිතිය අඩුවීම බවට ලක්විජය බලාගාරයේ ඉංජිනේරුවරුන් සටහන් තබා ඇති බවත් මාධ්‍ය වාර්තා කළේය.
ආනයනය කළ නෞකා තුනක ගල්අඟුරු සම්බන්ධයෙන් කරුණු වීමසීම සඳහා එම ආනයන කටයුත්තට සම්බන්ධවූ සීමාසහිත ලංකා ගල්අඟුරු (පුද්ගලික) සමාගමේ හිටපු සභාපතිවරයා යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැදවීමට ද රජය තීරණය කර ඇත. එසේම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවයි. මෙරටට ආනයනය කළ පළමු ගල්අඟුරු තොගයේ තාප ශක්තිය අඩු බව ඉන්දියාවේ දී කළ පරීක්ෂණවලදී තහවුරු වූ බවත් ඒ නිසා එම තොගය සම්බන්ධයෙන් දඩ අයකර ගැනීමට කටයුතු යොදන බවත් ඔහු පැවසීය.
මේ අතර පසුගිය 27 වැනිදා විපක්ෂයේ මන්ත්‍රීවරු 6 දෙනෙකු නොරොච්චෝලේ බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර එයින් පසුව ඔවුන් චෝදනා කළේ ඉතිහාසයේ අඩුම ගුණාත්මකතාව ඇති ගල්අඟුරු මෙවර ගෙන්වා ඇති බවයි. බාල ගල්අඟුරු නිසා යන්ත්‍ර මත පීඩනයක් ඇති වන බවත් ඉන්ජිනේරුවන් ඉතා අසීරුවෙන් කටයුතු කරන බවත් මෙම චාරිකාවට එක් වූ සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා ප්‍රකාශ කළේය. පළමු නැවෙන් ගෙනා ගල්අඟුරු යොදා කළ විදුලි ජනනයේ දී මෙගාවොට් 95ක් පමණ අඩුවෙන් විදුලිය නිපදවා ඇති බවද ඔහු ප්‍රකාශ කළේය. මෙම මෙගාවොට් 95 ක හිඟය සපුරා ගැනීමට ඩීසල් බලාගාරවලින් විදුලිය ගැනීමට සිදුවූ බවද ඔහු ප්‍රකාශ කළේය.
එසේම මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීමේ දි අක්‍රමිකතා සිදුව නැති බව ආණ්ඩුව පැවසුවද එම ක්‍රියාවලියේ වගකීම විදුලිබල ඇමතිවරයා විසින් භාර ගත යුතු බවද මන්ත්‍රී අජිත් පෙරේරා පැවසීය. මුලින් ගල්අඟුරු හදිසි බව කියා පසුව ඇගයීම කටයුතු සඳහා මාස එකහමාරක කාලයක් ගත්තේ ඇයි දැයි ඇමතිවරයා ප්‍රකාශ කළ යුතු බවද ඔහු කීය.

