විපක්ෂයේ මන්ත්‍රීවරු විස්සක් පිස්තෝල ඉල්ලති


සුජිත් හේවාජුලිගේ

පාතාල ක්‍රියාකාරකම් සහ රටේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගෙන  තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වහාම පිස්තෝල නිකුත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසි දෙනෙකු පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ  ආරක්ෂක අංශ ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියකුගෙන්  කළ විමසුමකදී ඔහු පැවසුවේ එම ඉල්ලීම් ආරක්ෂක අමාත්‍යාංශයට දැනටමත් යොමු කර ඇති බවයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ සියලු‍ම මන්ත්‍රීවරුන්ට පිස්තෝල ලබාදීමට රජය තීරණය කර නැතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සියලු‍ම මන්ත්‍රීවරුන්ට මීට පෙර පිස්තෝල ලබා දුන් නමුත් නව රජය බලයට පත්වීමෙන් පසු එය නතර කෙරිණ.

එසේ නතර කර ආරක්ෂා තර්ජන සම්බන්ධ විශ්ලේෂණයකින් තහවුරු වන මන්ත්‍රීවරුන්ට පමණක් පිස්තෝල ලබාදීමට රජය තීරණය කළේය. ඒ අනුව එම පිස්තෝල හිමි වන්නේ දැනට මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පමණි.

මේ අතර  තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු විමසීමට පොලිස්පතිවරයා පාර්ලිමේන්තුවට කැඳවන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් කථානායකවරයාගෙන් පසුගියදා ඉල්ලීමක් කළහ.

මේ අනුව කථානායකවරයා සහ එම මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව පෙරේදා පැවැත්විණ. තමාට ජීවිත තර්ජනයක් ඇති බව පොලිස්පතිවරයාගේ වාර්තාවක සඳහන් වෙන්නේ යැයි සමගි  ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානද කථානායකවරයාට පසුගියදා දැනුම් දුන්නේය.