ලෙඩ වෙන්න එපා රෝහල් ලෙඩින්


■ ඖෂධ  හා උපකරණ සැපයුම්කරුවන්ට කෝටි 4000ක්, ඖෂධ සංස්ථාවට රුපියල් කෝටි 5,600ක් සෞඛ්‍ය අමාත්‍යාංශය ණයයි

■ පශ්චාත් සීමාවාසික පත්වීම් ලැබූ 1400න් 300ක් පත්වීම් නොගනිති
■ ඖෂධ ගෙන්වීමට කෝටි 1300ක් ඕනෑ වුණත් ලැබෙන්නේ උපරිම කෝටි 500 යි
■ 60 සම්පූර්ණ කළ වෛද්‍යවරු 748ක් මේ සතියේ විශ්‍රාම යති

අජන්ත කුමාර අගලකඩ

වයස අවුරුදු 60 ට වැඩි වෛද්‍යවරුන් විශාල පිරිසක් මේ මස අග දී එකවර විශ්‍රාම යාමත්, ඖෂධ හිඟය සහ ඖෂධ ගෙන්වා ගැනීමට ප්‍රමාණවත් තරම් මුදල් ප්‍රතිපාදන නොලැබීමත් යන කාරණා මත, රජයේ රෝහල් පද්ධතිය පවත්වාගෙන යාම බරපතළ අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වේ.


විශේෂඥ වෛද්‍යවරුන් 148 දෙනකු සාමාන්‍ය වෛද්‍යවරුන් දෙසීයක පමණ පිරිසක් ද, රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් 350ක පමණ  පිරිසක් සහ දන්ත වෛද්‍යවරුන් 50 ක පමණ පිරිසක් ද, මේ මස 30 වැනිදා විශ්‍රාම යාමට නියමිතව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.


ප්‍රාදේශීය රෝහල්වල ලියාපදිංචි වෛද්‍යවරුන් 650 ක පමණ පිරිසක් සේවය කරන අතර, ඔවුන්ගෙන් තුන්සිය පනස් දෙනකු පමණ මේ මස 30 වැනිදා  විශ්‍රාම යාම හේතුවෙන්, එම රෝහල් පවත්වාගෙන යාම බරපතළ ගැටලු‍වක් වී ඇතැයි එම රෝහල්වල වෛද්‍යවරු සඳහන් කරති.


මේ අතර, සීමාවාසික පුහුණුව  අවසන් කළ වෛද්‍යවරුන් 1400 දෙනකුට පමණ ඉකුත් අප්‍රේල් මාසයේ දී පශ්චාත් සීමාවාසික පත්වීම් පිරිනැමු අතර, ඉන් වෛද්‍යවරුන් 300 දෙනකු පමණ පත්වීම් ලිපි ලබා ගෙන නැති බව ද දැන ගන්නට ඇත.


මේ අතර, රටපුරා  රෝහල්වල ඖෂධ වර්ග  රැසක හිඟයක් පවතින අතර, එම නිසා රෝගීහු දැඩි පීඩාවට පත්ව සිටිති. ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟය හේතුවෙන්, සැත්කම් පවා නතර කර ඇතැයි රෝගීහු පවසති.

වෛද්‍යවරුන්ගේ හිඟය සහ ඖෂධ හිඟය  සම්බන්ධයෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, වෛද්‍යවරුන්ගේ හිඟයත්, අත්‍යවශ ඖෂධ හිඟයක් රෝහල් පද්ධතිය පවත්වාගෙන යාමට ගැටලු‍වක් වී ඇති බවය.


විශේෂඥ වෛද්‍යවරුන් විශාල පිරිසක්  එකවර විශ්‍රාම යාම ගැටලු‍වක් බව කී ලේකම්වරයා, විශ්‍රාම යන රජයේ ලියාපදිංචි වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම යටතේ වසර දෙකක පමණ කාලයක් රඳවා තබා ගැනීමට බලාපොරොත්තුවන බව කීවේය.


රෝහල්වල වෛද්‍ය උපකරණ හා ඖෂධ හිඟය බරපතළ බව තමා පිළිගන්නා බව කී ලේකම්වරයා රෝහල්වල ඖෂධ වර්ග 150ක පමණ හිඟයක් තිබෙන බව වාර්තා වී ඇතැයි කීවේය.


ඖෂධ ගෙන්වීම සඳහා මසකට රුපියල් කෝටි 1300ක් පමණ අවශ්‍ය නමුත්, මහා භාණ්ඩාගාරයෙන් ලැබෙන්නේ රුපියල් කෝටි 300ක් 400ක් පමණ ප්‍රමාණයක් බව කී චන්ද්‍රගුප්ත මහතා උපරිම ලැබෙන ප්‍රමාණය රුපියල් කෝටි පන්සීයක් පමණ විය හැකි බවද කීවේය.


මේ හේතුවෙන්, ඖෂධ ඇණවුම් කිරීම සඳහා බැංකුවලින් ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වී ඇතැයි ද, ඖෂධ ඇණවුම් කළද  බැංකුවලින් ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වීමෙන්, ඖෂධ ගෙන්වා ගැනීමට නොහැකි වන්නේ යැයි  ද ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා කීවේය.


ඖෂධ ගෙන්වීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පමණක් මසකට රුපියල් කෝටි 600ක් පමණ  අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය.
එහෙත් ඖෂධ නීතිගත සංස්ථාවට ගෙවීමට මහාභාණ්ඩාගාරයෙන් ලැබෙන්නේ රුපියල් කෝටි 100ක පමණ ප්‍රතිපාදන බවද හෙතෙම කීවේය.
මීට පෙර ආයනය කරන ලද ඖෂධ  හා උපකරණ වෙනුවෙන් සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 4,000ක පමණ බිල් ගෙවීමට ඇති බවත්, ඖෂධ සංස්ථාවට පමණක් රුපියල් කෝටි 5,600ක පමණ මුදලක් ගෙවීමට ඇති බවත් හෙතෙම කීවේය.


රට තුළ, සාමාන්‍යයෙන් වසරකට අවශ්‍ය ඖෂධ තොග  පවත්වාගෙන යා යුතු වුවද, මේ තත්වය තුළ මාස හයකට ප්‍රමාණවත් ඖෂධ තොග  පවත්වාගෙන යාමට නොහැකි වී ඇතැයි ලේකම්වරයා කීවේය.


ඖෂධ ගෙන්වීමට මාස හයක පමණ කාලයක් ගතවන බැවින්, ඉදිරියේ දී  අවශ්‍ය ඖෂධ දැන්ම ඇණවුම් කළ යුතු බව කී හෙතෙම 2024 වසරට අවශ්‍ය ඖෂධ දැන්ම ඇණවුම්  කළ යුතුව ඇතැයි සඳහන් කළේය.


ලබන වසරට අවශ්‍ය ඖෂධ තොග දැන්ම ඇණවුම් නොකළහොත්, ඒවා නොලැබෙනු ඇතැයි ද ලේකම්වරයා කීවේය.
මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද රට තුළ බරපතළ ඖෂධ හිඟයක් තිබෙන බව පාර්ලිමේන්තුවේ දී ගිය සතියේ පිළිගත් අතර, ඖෂධ ගැනීමට ප්‍රමාණවත් මුදලක් නොලැබෙන්නේ නම්, සෞඛ්‍ය අමාත්‍ය ධුරය තවදුරටත් දැරීමේ බලාපොරොත්තුවක් නැති බව ද කීවේය.