රුපියල් 8ක අවම විදුලි ඒකකය රුපියල් 50ක් කරන යෝජනාවක්


දයාසීලි ලියනගේ

මසකට විදුලිය ඒකක 30ට අඩු ප්‍රමාණයක් පාවිච්චි කරන ජනතාව සඳහා ඒකකයකට අය කරන මුදල රුපියල් 8.00 සිට රුපියල් 50 දක්වා වැඩි කිරීම ඇතුළුව විදුලි බිල වැඩි කිරීමේ යෝජනාවලියක් විදුලි බල මණ්ඩලය මගින් අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත. ඒකක 31 සිට 60 දක්වා පාරිභෝගිකයන්ට ඒකකයකට අය කරන මුදල රුපියල් දහයේ සිට රුපියල් 55 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇත.  

ඒකක 61 ක් 90 ත් අතර පාවිච්චි කරන පාරිභෝගිකයන්ට ඒකකයකට අය කරන රුපියල් 16 මුදල රුපියල් 60 දක්වාද ඒකක 91 සිට 120 දක්වා වූ ප්‍රමාණයට ඒකකයක් 50 සිට 65 දක්වාද වැඩි කිරීමට යෝජනා කර ඇත.  


ඒකක සඳහා වැය කරන මුදලට අමතරව රුපියල් 1500 බැගින් වූ ස්ථාවර ගාස්තුවක්ද අය කිරීමට යෝජිතව ඇත.  


විහාරස්ථාන සඳහා ඒකකයකට අය කරන මුදල රුපියල් 40 සිට 50 දක්වා වැඩි කිරීමට යෝජනා කර ඇති බවද වාර්තා වේ.  


විදුලි බිල වැඩි කිරීමෙන් මණ්ඩලය රුපියල් බිලියන 717 ක් 818ක් අතර ප්‍රමාණයක ආදායමක් බලාපොරොත්තු වන බවද පැවසේ. 

 
ඩීසල් භාවිතාකර විදුලිය නිපදවීම පදනම් කර ගෙන මෙම ගාස්තු වැඩිවීම යෝජනා කර ඇත. මණ්ඩලය මගින් යෝජනා ක්‍රම 5ක් අමාත්‍යංශයට ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.  


මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතියකින් තොරව අමාත්‍ය මණ්ඩල අනුමැතියෙන් ලබන ජනවාරියේ සිට විදුලි බිල වැඩි කිරීමට නියමිතය. ලබන ජුනි මාසයේ සිට නැවත විදුලි බිල වැඩි කිරීමටද යෝජිතව ඇත.  


විදුලිය මාසයකට ඒකක 180ට අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 55කි.