රාජ්‍ය සමාගම් 120 ක් පෞද්ගලීකරණයට


අජන්ත කුමාර අගලකඩ 

පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය එකසිය විස්සක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය. 
එම සියලු‍ ආයතන හඳුනාගෙන මේ වන විට ලැයිස්තු ගත කරමින් ඇති අතර, අදියර කිහිපයක් යටතේ ඒවා පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කරමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය. එම රාජ්‍ය ව්‍යවසාය අතර, ලාභ ලබන මෙන්ම, ලාභ නොලබන ආයතන ද ඇති බව ඔහු සඳහන් කළේය.


රාජ්‍ය ව්‍යවසායවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට දී, ඒවායේ ඵලදායිතාව වැඩිකර ගැනීමත්, රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමත් මෙහි අරමුණ බව ද ඔහු කීවේය. 

පළමු අදියර යටතේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කොළඹ ග්‍රෑන්ඩ් හයාට් හෝටලය, හිල්ටන් හෝටලය, ලිට්ට්‍රෝ ලංකා සමාගම සහ ලංකා හොස්පිටල්ස් යන සමාගම්වල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පැවරීමට තීරණය කර ඇතැයි එම නිලධාරියා සඳහන් කළේය. 
මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ලංකා හොස්පිටල්ස් සමාගමේ කොටස් පෞද්ගලික අංශයට පැවරීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි විය. පෞද්ගලීකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසායන් හඳුනා ගැනීමට සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට මුදල් අමාත්‍යාංශය යටතේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගතකරන ඒකකය නමින් නව ඒකකයක්ද ආරම්භ කර ඇත.