උපුල් වික්‍රමසිංහ
දිනෙන් දින ඩොලරයට සාපේක්ෂව රුපියල පිරිහීම හමුවේ පොලී අනුපාත ඉහළ දමමින් ආර්ථිකය හැකිළිය යුතු බව ආර්ථික විශේෂඥයෝ පවසති. පොලී අනුපාත වැඩි නොකර ආර්ථිකය හැකිළීමකින් තොරව පවත්වාගෙන යන බවට ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළත් රුපියල තවදුරටත් ක්ෂය වීම පාලනය කිරීමට නම් ආර්ථිකය හැකිළීමට සිදු වෙන බව වයඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය හා කළමනාකරණ පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා ‘ඉරිදා ලංකාදීප’යට කීවේ ය.
ආර්ථික කටයුතු හැකිළීම මගින් ඩොලර් සඳහා පවතින ඉල්ලුම අඩු වන බවත් එයින් රුපියල පිරිහීම තාවකාලිකව නතර කළ හැකි බවත් කී හෙතෙම පවතින තත්ත්වයට මූල්‍ය ප්‍රතිපත්තිය ගලපමින් මෙම පියවර ගත යුතු බව ද සඳහන් කළේ ය.
2022 ආර්ථික අර්බුදය හටගත් අවස්ථාවේදීත් පොලී අනුපාත ඉහළ දමමින් ආර්ථිකය ස්ථාවර කිරීමට පියවර ගත් පරිද්දෙන් මෙම අවස්ථාවේදීත් එසේ කටයුතු කළ යුතු බව ද ඔහු සඳහන් කළේ ය.
“වෙළෙඳපොළ ස්ථාවරකරණයත් කළ යුතුයි. ඒ යටතේ මහ බැංකුව වෙන දේ පිළිබඳ වෙළෙඳපොළට පැහැදිලි අදහසක් දෙන්න ඕන. රුපියලේ කඩාවැටීම පාලනය කරන්නෙ කෙසේද යන්නත් පැහැදිලි කළ යුතුයි. ඩොලර් ප්‍රමාණයක් වෙළෙඳපොළට ඉක්මනින් දාන්න රජය කටයුතු කළ යුතුයි. සංචිත ප්‍රමාණවත් නොවන නිසා අයි.එම්.එෆ්. හා අනෙක් ආයතනවල මුදල් වෙළෙඳපොළට දැම්මොත් කඩාවැටෙන ඩොලර් තාවකාලිකව නතර කරන්න පුළුවන්. ඩොලරය ඉහළ යෑම නිසා ආනයන වියදම් වැඩි වෙනවා. අවසානයේදී උද්ධමනය වැඩි වෙනවා. ජීවන වියදම වැඩි වෙනවා. වෙළෙඳපොළ අවිනිශ්චිතභාවයක් ඇති වෙනවා” යනුවෙන් මහාචාර්යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ ය.
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න ඉරිදා ලංකාදීපයට සඳහන් කළේ මෙම අර්බුදය හමුවේ මහ බැංකුවට කළ හැකි එකම දේ පවතින විදේශ සංචිත වෙළෙඳපොළට නිදහස් කිරීම බවත් එසේ කළහොත් තවත් ප්‍රශ්න ගණනාවක් ඇතිවිය හැකි බවත් ය.
“ආනයනය පාලනය කරන එක තමයි ආණ්ඩුවට කරන්න පුළුවන්. මේ ප්‍රශ්නය උග්‍ර වෙනතුරු හිටියෙ ඇයි කියලා අහන්න කැමැතියි. හදනවා කියපු නිෂ්පාදන ආර්ථිකය කෝ? ඒකට ආරම්භය අරගෙන තිබුණා නම් යම් පමණක හෝ ස්ථාවරභාවයක් ගොඩනගා ගත හැකිව තිබුණා. දිගින් දිගටම රුපියල පිරිහීම පාලනය කරන්න නම් පොලී අනුපාත වැඩි කර ආර්ථිකය හැකිළිය යුතුයි” යනුවෙන් ද ඔහු කීවේ ය.

