රනිල්ගේ ජනපතිවරණ සටනට ඇමති පිරිසක් වැඩ අරඹයි


අජන්ත කුමාර අගලකඩ 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට පොහොට්ටුවේ ප්‍රබලයන් පිරිසක් දැන් සිටම සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.


ආණ්ඩුවේ ප්‍රධාන තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු ඇතුළු පොහොට්ටුවේ මැති ඇමතිවරුන් රැසක් මේ සඳහා මුල් වී සිටින බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. 

රනිල් වික්‍රමසිංහ මහතා අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ ප්‍රචාරක මෙහෙයුම ආණ්ඩුවේ ප්‍රබල තනතුරක් දරන, ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු බාරගෙන ඇති අතර, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටිය දී සහ අගමැති ව සිටියදී ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සිටි ප්‍රබලයන් කිහිප දෙනකු ද ඊට සම්බන්ධ කරගෙන ඇති බව එම ආරංචි මාර්ග වලින් පැවසේ. 


මේ අතර, ආණ්ඩුවේ කැබිනට් සහ රාජ්‍ය ඇමැති ධුර දරන තරුණ මන්ත්‍රීවරුන් වැඩි දෙනකු රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ සූදානමක සිටින බවද එම ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත. 


එමෙන්ම ආණ්ඩුවේ තනතුරු දරන පොහොට්ටුවේ මැති ඇමැතිවරුන් වැඩිදෙනෙකු මේ වන විට දේශපාලන වශයෙන් සිටින්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමග බව ද නම හෙළි කිරීමට අකමැති, ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් සඳහන් කළේය.