රනිල් දවස් 4ක් ඇතුළට


  • රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු විධායක ජනාධිපතිවරයා
  • රාජ්‍ය මුදල් රුපියල්ලක්ෂ 166ක් අවභාවිත කළ බවට වූචෝදනාවට රිමාන්ඩ්

උපුල් වික්‍රමසිංහ

ඉකුත් සිකුරාදා (22) රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර එදින රාත්‍රී නියෝග කළාය. 

ඒ රජයේ මුදල් රුපියල් ලක්ෂ 166 ක් වැය කරමින් සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍ය බලා ගියේ යැයි කියන සිදුවීමකට අදාළව ය. 

තීන්දුව ප්‍රකාශ කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය සැකකරුට ආරක්ෂාව සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්නැයි බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන රහස් පොලිසිය මීට පෙර හිටපු ජනාධිපති ලේකම් වශයෙන් කටයුතු කළ සමන් ඒකනායක හා පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා යන අයගෙන් කටඋත්තර ලබා ගැනීමෙන් පසු පසුගිය 22 වැනිදා රනිල් වික්‍රමසිංහ කටඋත්තරයක් ලබා ගැනීම සඳහා රහස් පොලිසිය වෙත කැඳවා තිබුණු අතර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු දහවල් අත්අඩංගුවට ගැනිණ. මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව දෙපාර්ශ්වය පැය දෙකකට ආසන්න කාලයක් කරුණු ඉදිරිපත් කළ අතර විමර්ශනයේ තීන්දුව පැය හතරකට පසුව ප්‍රකාශයට පත් කෙරිණ. 

පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් ද සැකකාර රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න ද පෙනී සිටියහ. 

වැඩිම වාර ගණනක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ (6 වරක්) හා ඉතිහාසයේ පළමුවරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත්වෙමින් වාර්තාවක් තැබූ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ තවත් වාර්තාවක් තබමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ රක්ෂිත බන්ධනාගාර ගතවූ පළමු හිටපු විධායක ජනාධිපතිවරයා බවට මේ සමග පත් විය.