රන්ජන්ට ජනාධිපති සමාව


උසාවියට අපහාසවෙන  ප්‍රකාශ බෑ

දයාසීලි ලියනගේ

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටි ජනප්‍රිය නළු, සමාජ සුබසාධන හිටපු රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පෙරේදා (සිකුරාදා) ජනාධිපති සමාව මත නිදහස් කරනු ලැබීය.

වර්ෂ 2021 ජනවාරි 12 වැනිදා ඔහුට බරපතළ වැඩ සහිත වසර 4ක සිර දඬුවමක් නියම කරනු ලැබූ අතර 2017 අගෝස්තු 21 වැනිදා අධිකරණයට චෝදනා කිරීම මත වැරදිකරු වීමෙන් වසර පහක අත්හිටවූ සිරදඬුවමක් අධිකරණය මගින් නියම කරනු ලැබුවේය. 


මින් ඉදිරියට ඒ මහතා අධිකරණයට අපහාස වෙන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් සිදු නොකරන බවට ​ෙවන කොන්දේසිය යටතේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගිය සිකුරාදා (26) ජනාධිපති සමාව ලබාදීමේ ලේඛනයට අත්සන් කළේය. තමන් සිදු කළ ප්‍රකාශ සම්පූර්ණයෙන් වැරදි බවත් එම ප්‍රකාශ නිසා අධිකරණයට වූ අපහාස සම්බන්ධයෙන් සමාව ගන්නා බවටත් රන්ජන් රාමනායක මහතා දිවුරුම් ප්‍රකාශයක්ද ලබා දී තිබුණි.  


අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් අදාළ වාර්තා ලබා ගෙන එම නිර්දේශය ජනාධිපතිවරයාට ඉදිරිපත් කරනු ලැබීය.  
රංජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් කරන අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු ගණනාවක්ම එක්ව සිටියහ.