රටම හිඟමනේ යද්දී කෝටි එකොලොස්දාහක රට කෑම ගෙනත්


මේ වසරේ මුල් මාස අටේ වියදම ගැන අනාවරණයක්

සුජිත් හේවාජුලිගේ

එළවළු, පලතුරු, සීනි ඇතුළු රස කැවිලි ආනයනය සඳහා මේ වසරේ මුල් මාස අටේදී (ජනවාරි සිට අගෝස්තු දක්වා) රුපියල් කෝටි එකොළොස් දහස් නවසිය දාහතරක් (11,914) වැයකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවල දැක්වෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.

මෙයට අමතරව ධාන්‍ය හා ඇඹරුම් කර්මාන්ත නිෂ්පාදන සඳහා කෝටි 8170ක්ද සත්ව නිෂ්පාදන සඳහා කෝටි 4992ක්ද විවිධ පාන වර්ග සඳහා කෝටි නවසිය හතළිස් හයක්ද ගෘහ භාණ්ඩ සඳහා කෝටි 2398ක්ද සුවඳ විලවුන් සඳහා කෝටි නවසිය තිස් දෙකක්ද කුළු බඩු සඳහා කෝටි 2742ක්ද පෞද්ගලික වාහන ගෙන්වීම සඳහා කෝටි 175ක්ද වැයකර ඇති බව මහාචාර්යවරයා කීවේය.  


මේ භාණ්ඩ ගෙන්වා ඇත්තේ රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබියදී වීම විශේෂත්වයකි.  


එළවළු සහ පලතුරු මේ රටේ සුලභව පවතින අතර ඒවා විදේශයෙන් ගෙන්වීමට මේ ආකාරයට මුදල් විශාල වශයෙන් යෙදවීම අපරාධයක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.  


මේ අතර මේ වසරේ මුල් මාස අටේදී අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 8.90ක් වන අතර එම කාලයේ ආනයන වියදම ඇමරිකානු ඩොලර් බිලියන 12.8කි.  
ඒ අනුව ආනයන අපනයන වෙනස හේතුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4ක හිඟයක් රටේ පවතින බව වසන්ත අතුකෝරළ මහතා වැඩිදුරටත් පැවැසීය.